December 22, 2017

ඇයි ගෑණුන්ට මෙහෙම වෙන්නෙ?


මේ ලියන්නෙ මේ අවුරුද්දට අවසන් පෝස්ට් එක වේවි. ඉතින් මුලු අවුරුද්දකටම ලියවිලා තියෙන්නෙ පෝස්ට් 9ක් පමණක් වීම ගැන හිතට දුකයි. මගේ කම්මැලිකම ගැන හිතේ පොඩි පසුතැවීමක් තියනව. ලබන වසරේ මීට වඩා යමක් ලියන්නම්.

මුලින්ම කියන්න ඕන, මම මේ ලියන දේ ටිකක් පෞද්ගලික මාතෘකාවක්. මාතෘකාව තමයි, විවාහයට පෙර හා පසු, ගෑණුන්ට හැඟෙන දේ. මේ ගැන පොඩි විවෘත සංවාදයක් සිදු වෙනවා නම් මම කැමතියි. බ්ලොග් අවකාශයේ ඉන්න තරමක් ඉන්නේ, කසාද බැඳපු, තලන්තෑනි, ලොම් හැලිච්ච පිරිමි නිසා, මේක කතා කරන්න හොඳම තැනත් බ්ලොග් එක. :D ජජ් කරන්නේ නැතුව, මඩ ගහගන්නේ නැතුව, එන්න, අපි කතා කරමු.

මාතෘකාව පෞද්ගලික නිසා මගේ ගැන තොරතුරු ටිකක් කියන්නම්, මුලින්ම. ඔබ හැමෝම දන්නව වගේ, මම විවාහ විය යුතු වයසේ කියල සමාජය විසින් තීරණය කරපු, තරුණ ගෑණු ළමයෙක්. 

මගේ, මේ දවස් වල ෆේස්බුක් වෝල් එකේ ඕනෑම වෙලාවක බැලුවොත්, ප්‍රී ෂූට්, වෙඩින් ෆොටෝ, හනිමූන් සෙල්ෆි, හෝම් කමින් ෆොටෝ, ඊට පස්සෙ දෙන්නත් එක්ක ට්‍රිප් ගිහිපු ෆොටෝ තමයි වැඩිපුර තියෙන්නෙ. ඊට අමතරව, තනිකඩ, විවාහාපේක්ෂිත ගෑනු ළමයි විසින් ශෙයා කරන විවාහ ප්‍රදර්ශන, මනාලියන්ගේ විලාසිතා තියන ඇල්බම් එහෙමත් ඔය අතරින් පතර තියනව. 

සාමාන්‍යයෙන් මාල හතක් දාල, පෝරුවේ නැගල, උත්කර්ෂවත් විවාහ උත්සවයක් ගන්නා එක, බොහොමයක් ගෑනු ළමයින්ගේ හීනයක් නේ. මෙතනදි මගේ ජීවිතේ ලොකු වෙනසක් සිදු වෙනවා, ඒ තමයි, මීට වසර කිහිපයකට පෙර, ඉතාම හදිසි රිය අනතුරක් නිසා සිදු වුණු, මගේ පියාණන් ගේ අභාවය. මනාලියක්, අතින් අල්ලාගෙන විවාහ ශාලාවට ගෙනැත්, පෝරුවට නග්ගවන පියාගේ සෙවණ නැතිව ජීවත් වෙන්න පුරුදු වෙච්ච මට, පෝරුවේ නැගලා විවාහ වෙන එක වදයක් කියලයි හිතෙන්නෙ. ඒ, මගේ අතින් අල්ලන් එන්නට, මගේ පියා මා ළඟ නැතිකම. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණු දවසක, බොහොම චාම් විදියට රෙජිස්ට්‍රේෂන් එක විතරක් ගන්නට මගේ හිතේ තියන අදහස එක්ක, මගේ අම්ම, කසින් බ්‍රදර් ල, ගොඩක් අය මගේ හිත වෙනස් කරන්න උත්සාහ කරල තියනවා, "අපි ඔයාගෙ අතින් අල්ලන් ඔයා එක්කම ඉන්නව මානවී" කියල. නමුත් මගේ පියා ළඟ නැති නිසා, මට පෝරුවේ චාරිත්‍ර එක්ක විවාහ වීමට, අනිත් ගැහැණු ළමුන්ට වගේ හීනයක් නෑ. 

ඊළඟට ගත්තොත්, මම ටිකක් ෆැෂන් වලට කැමති කෙනෙක්. ෆිගර් කන්සර්න්ඩ්, ජිම් යන, වර්ක් අවුට් කරන කෙනෙක්. ඒත්, එදිනෙදා ජීවිතේ ෆැෂන් වලට කොයි තරම් ආස වුණත්, විවාහ උත්සවයකට ආස නැති නිසාද මන්ද, මනාලියක් විදියට අඳින්න, මේකප් කරන්න, ආස හිතෙන්නේ නැහැ.

ඊළඟට, මගේ පියාගේ අභාවයෙන් පසුව, මගේ මව් තුමිය ටිකක් අසනීප වෙන්නට පටන් ගත්ත. ගොඩක් බැඳීමකින් ජීවත් වූ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හදිසියේ නික්ම යාම, අනිකාට දරන්නට අමාරු වුණා. මේ නිසා, මම මගේ අධ්‍යාපනය, රැකියාව ඇතුළු පුද්ගලික වැඩ කටයුතු බොහොමයක්, සිදු කරගත්තේ තනිවම. ඒ ලැබුණු පන්නරය එක්ක, මට කවදාවත් එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා තවත් කෙනෙකු සොයා ගැනීමේ අවශ්‍යතාවයක් දැනුණේ නැහැ. 

ටික කාලයක් තිස්සේ ඉන්නෙත් විදේශගත වෙලා නිසා, ඕන වෙලාවක, ඕන තැනක, ඕන ඇඳුමක් ඇඳගෙන යන්න පුළුවන් ආරක්ෂාකාරී සමාජ වටපිටාවක, ආරක්ෂාව වෙනුවෙන් කවුරුවත් හොයා ගන්න ඕන කියල හිතෙන්නෙත් නැහැ.

එතකොට කිල්ලෝටෙ හුණු ඇත්තෙම නැද්ද?

තියනවා.

එළියේ හිම වැටෙන, ඇවිදින්න යන්න බැරුව ගේ ඇතුලට වෙලා කම්මැලිකමේ ඉන්න දවසට, හොඳටම වහින, සීතල අන්ධකාර දවසට, උණුහුමට ගුලි වෙන්න කවුරුහරි ලඟින් හිටියනම් කවුද අකමැති?

හොඳටම අසනීපෙන් ඉන්න වෙලාවක, උයාගන්න නැගිටින්න වත් ඇඟට පන නැති වෙලාවට, කඩෙන් කෑම එකක් ගේන්න වත් කවුරුහරි හිටියනම් කවුද අකමැති?

හැබැයි ඉතින් හැමදාම හිම වැටෙන්නේ, වහින්නේ, ලෙඩ වෙන්නේ නැහැනේ. ඒ නිසා ඔය සිතිවිලි ලත් තැනම ලොප් වෙනව. මගේ ඔය දුර්වලතාවය දන්න නිසාම, අඳුරු වැහි දවසට ගෙදර ඉන්නවා නම් රිසර්ච් වැඩක් හෝ වෙන මොකක් හරි දෙයක් එක්ක බිසි වෙන්නත්, ශරීර සෞඛ්‍ය ගැන ටිකක් වැඩිපුර සැලකිලිමත් වෙන්නත් මම පටන් අරන් දැන් අවුරුදු දෙකක් විතර.

ඒත් කොහොම වුනත්, හවස වැඩ ඇරිල ආවම තේ එකක් බිබී දවසේ වෙච්ච දේවල් කතා කරන්න හෝ කෙනෙක් ඉන්නවා නම් හොඳයි නේ, නැද්ද? ඒ නිසා මම අවිවාහකව ඉන්න දරුණු ලෙස අධිෂ්ඨාන කරපු කෙනෙක් නෙවෙයි. සතුටින් ජීවිතේ ගත කරන ගමන්, "හොඳ කෙනෙක් හම්බුනාම බලමු" කියන එක තමයි මගේ ජීවිතේ ආදර්ශ පාඨය වුණේ.

සාමාන්‍යයෙන් අපි කාර් එකක් ගන්නවා නම්, ඒ ජාතියේ කාර් එකක් කලින් පාවිච්චි කරපු කෙනෙක් ගෙන් අහනවා වගේ, රෙස්ටුරන්ට් එකකට යන්න කලින් ඒ රෙස්ටුරන්ට් එකෙන් කාපු කෙනෙක් ගෙන් අහනවා වගේ, වටපිට බලලා සාමාන්‍ය අදහසක් ගත්තොත් එහෙම, 

බුකියේ වෝල් එක දිහා බැලුවම අලුත බැඳපු ජෝඩු නම් සතුටින් ඉන්න බව පේනව. 

බැඳලා ටික කාලයක් වෙච්ච යාලුවෙකුට වගේ කෝල් කලොත් ඔන්න, "අනේ මානවී සොරි කාලෙකින් කෝල් නොකලට, ඉතින් ඉතින්, ඔයත් කවුරුහරි හොයාගන්න තනියට, මේ ඒක නෙවෙයි අනේ, ගෙදර වැඩක් නිසා අහවලාගේ පාටි එකට එන්න බැරි උනා අනේ, ඔෆිස් ගිහින් ඇවිත් උයල කාල නිදියනකොට දවස ඉවරයි අනේ, එහෙනම් මම තියන්නම් මදර් ඉන් ලෝ ව පන්සල් එක්ක යන්න ඕන" වගේ බිසී බවක් පේනව. 

බැඳල අවුරුදු 5 ක් විතර වුණු, මොන්ටිසෝරි යන දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් එක්ක කතා කලොත්, "මොන අඩු පාඩුව තිබුණත් මේ දරුවට තාත්ත කෙනෙක් ඕන නේ, අම්මයි තාත්තයි අතරෙ ප්‍රශ්න තිබුනොත් ඒව දරුවොන්ට ටක් ගාල නෝට් වෙනව අනේ, ඒ නිසා හොඳින් ඉන්න ඕන, ඒ නිසා අපි ප්‍රශ්නයක් ආවොත් කතා බහ කරල විසඳගන්නව. ඒ උනාට අපරාදෙ අනේ මම හදිසි උනාද මන්ද" කියල කියන, වගකීම් සහගත, නමුත් ජීවිතේ ලොකු සතුටකුත් නැති වගේ ගතියක් පේනව.

විවාහයෙන් අවුරුදු අටක් දහයක් පමණ වෙච්ච, අවුරුදු හතලිහ වත් වෙලා නැති කාන්තාවක් කීප දෙනෙක් එක්ක සමීපව ආශ්‍රය කරන්න සිදු වුනා, මේ ලඟදි. යාළුවො වගේ එකට වැඩ කරපු ඔවුන්, මගේ තොරතුරු අහල, මුලින්ම කියපු දේ තමයි, "අනේ බඳින්න නම් එපා නගෝ, මේ අපිට වෙච්ච දෙයක් පේන්නෙ නැද්ද. අවුරුදු කීයද සතුටින් හිටියෙ? දැන් දරුවොත් එක්ක, දමල ගහල යන්න බැරි කමට ඔහේ ඉන්නව ඉතින්. ඔය ජීවිතේ කොච්චර නිදහස් ද අනේ, අන්න එකට මට, දරුවො හිටියෙ නැත්නම් ඕන එකක් කියල තනියම ජීවත් වෙන්න තිබුණ, දැන් ඉතින් බැහැනෙ" කියල, මුළු ජීවිතේම කලකිරුණු බවක් පේනව.


හැඟීම්බර ගැහැණු මුහුණු කිහිපයක් ඉහත රූපයේ දැක්වේ - පින්තූරය Google Images වෙතින් 

මෙහෙම නැති ගෑණු ඇති. මගේ වයස හා අධ්‍යාපන කටයුතු වල ස්වභාවය අනුව මට වයස 35-40 පැනපු කාන්තාවන් එක්ක යාළුවො වගේ සමීපව ආශ්‍රය කරන්න ලැබෙන්නේ ගොඩක් අඩුවෙන්. ඒ සීමිත කුලකය තුලින් ලැබුණු අත්දැකීම තමයි මේ.

ඉතින් ඇයි ගෑණුන්ට මෙහෙම වෙන්නෙ? පිරිමින්ටත් මෙහෙමද? ගෑණුන්ට මෙහෙම හිතෙන්න තරම් පිරිමි කියන්නේ දරුණු සත්ව විශේෂයක් ද? :D 

ඇයි අපට හැමදාම සතුටින් ඉන්න බැරි? අපි කතා කරමු. මොකද මේව කතා නොකලොත්, වැස්ස දවසට රිසර්ච් එකත් එක්ක බිසී වෙලා, ලෙඩ නොවෙන්න පරිස්සම් වෙවී, මේ විදියටම හැමදාම මට තනියම ඉන්න හිතේවි. 

අපරාදෙ නේ. :D 


61 comments:

  1. +++++++ "පියාගේ සෙවණ නැතිව ජීවත් වෙන්න පුරුදු වෙච්ච මට, පෝරුවේ නැගලා විවාහ වෙන එක වදයක් කියලයි හිතෙන්නෙ. ඒ, මගේ අතින් අල්ලන් එන්නට, මගේ පියා මා ළඟ නැතිකම. තේරුම් ගන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුණු දවසක, බොහොම චාම් විදියට රෙජිස්ට්‍රේෂන් එක විතරක් ගන්නට....." +++++++++

    ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක් නේද? ඒත් අද කාලේ ලොකුවට වෙඩින් ගන්න රටටම ණය වෙන ජෝඩු, කසාදෙන් පස්සේ සල්ලි අඩුපාඩුකම් නිසා අඩ දබර වෙන සිද්දි දිහා බැලුවම මානවී හිතන විදිය හරි.

    කොහොම වුනත් තනිකමට ඇබ්බැහි වුනොත්, ආයේ සමාජයට යන්න එපාම වේවි. (මම වගේ)

    ReplyDelete
    Replies
    1. මම එහෙම ගොඩක්ම වෙනස් කෙනෙක් නෙවෙයි. මම දන්නා තවත් ගැහැණු ළමුන් ඉන්නවා නොයෙක් හේතු නිසා විවාහ උත්සව ගන්නට අකමැති. එක්කෙනෙක් ගේ අම්මා ජීවතුන් අතර නෑ, අනිත් මිතුරිය හා සැමියා දෙදෙනාටම විවාහ උත්සවය ජයට ගැනීම හැරුණු කොට වෙනත් සැලසුම් තිබුණ. ඔය වගේ...

      මමත් වැඩිය සද්ද බද්ද නැති තැනක තනියම ඉන්න නම් ටිකක් කැමතියි. නමුත් කවුරුවත් නැති පාලු දූපතක වගේ තනියම ඉන්න නම් බෑ. නමුත් ඇත්තටම ඔබ කියනව වගේ, අපට සමහර වෙලාවට ටිකක් හැමෝගෙන්ම ඈත් වෙලා බ්රේක් එකක් ගන්න උවමනා වෙනව.

      Delete
  2. හම්. ඕකේ දෙපැක්කන් තියනවා නේද. තමන්ට සපෝර්ට් කරන උදව් කරන කෙනෙක් එක්ක ජීවත් වෙන එක බොහොම සතුටුදායක දෙයක්. ඒ අතරට දරුවෝ අලුත් නෑයෝ වගේ දේවල් එකතු වෙන එකත් හොදයි. මම ගෙදර එකම ළමයා. ඒ නිසා ටිකක් මගේ නිදහස සීමා වෙලා තිබුණා. විශ්ව විද්‍යාලයට ගිහින් ඒකෙදි අදුරගත්තු කෙනෙක් එක්ක විවාහ වුණේ. දැන් අවුරුදු 4ක් දරුවෝ 2ක් ඉන්නවා. මට රෑ කාලේ ගමනක් යන්න, වැඩිය සැළසුම් කරන්නේ නැතුව වැඩ කරන්න ලැබුණේ විවාහයත් එක්ක. මගේ සැමියා පොඩි කාලේ පියා අහිමි වෙලා බාල සහෝදරියන් එක්ක ජීවිතේට මුහුණ දුන්න නිසා හොද අවබෝධයක් තියන ශක්තිමත් කෙනෙක්. විවාහ වෙනකම් මට ඉන්සෙකියෝ හැගීමක් වගේ තිබුණා මට කවුරුත් නැති වෙයි කියලා වගේ (මගේ දෙමව්පියන් ඉතා ආදරණීය, ගුණවත් බුද්ධිමත් අය වුණත්). තනියම ඉන්න කාලෙට වඩා ලොකු වෙනසක් ජීවිතේට එන්නේ දරුවෝ ලැබුණාම. දෙන්නා ඉන්න කාලෙත් ඕනි නම් කාලා, නැතුනම් බඩගින්නේ ඉන්න පුලුවන්. ඒත් දරුවෙක් ඉද්දී ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙන්න ඕන. නමුත් ඒ ලැබෙන සතුට අපිට තනියෙන් ඉන්න කාලේ හිතාගන්නත් බැරි තරම්. බොහෝ වෙලාවට මට හිතෙන්නේ සැමියා හොද නම් ඒ පවුල හොද නම් බුද්ධීමත් ගෑනු ළමයෙකුට සතුටින් විවාහය ගත කරන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපේ රටේ විශේෂයෙන් බිරිද හෙම්බත් වෙන්නේ ටික කාලයක් යද්දී ගෙදර වැඩ, ළමයින්ගේ වැඩ තමන්ගේ පිටටම එන නිසා. තමන්ට උදව් ලැබෙන, රැකියාවට හෝ තමන් ආස දේට සහයෝගය ලැබෙන පරිසරයක නම් විවාහ ජීවිතය ඉතාම හොද බවයි මගේ අදහස.
    අපිටත් ප්‍රශ්න එනවා. ඒවා විසදගන්නවා. නමුත් මේ අවුරුදු 4ටම අනේ බැන්දේ නැත්නම් හෝ ළමයි හැදුවේ නැත්නම් කියලා මට බරපතලව හිතිලා නැහැ.
    නමුත් මමත් ගෑනු ළමයින්ට දෙන උපදෙසක් තමයි රැකියාවක් කරලා අවුරුදු 2/3 ක් හෝ අවිවාහකව තනියම ඉන්න. උසස් අධ්‍යාපනය, ඩාන්සිං ක්ලාස්, කුකරි ක්ලාස්, බියුටි කල්චර් නිදහස්ව ඒ කාලේ කරගන්න. මෙරට හෝ පිටරට පුලුවන් නම් ඇවිදින්න යන්න.
    විවාහ වෙලත් අවුරුදු 1,2ක් දරුවන් නැතුව දෙන්නා ජීවිතය විදින්න. ඒ කාලේ වටිනාකම තේරෙන්නේ දරුවන් ලැබිලා දවසින් දවස විවේකය අඩුවෙලා වගකීම් වැඩිවෙනකොටයි.

    ReplyDelete
    Replies
    1. රන්මි බොහොම ස්තුතියි කොමෙන්ටුවට.

      ඔබේ කොමෙන්ටුවට මම ඉතාම කැමතියි, මොකද කියනවා නම්, ඒ කොමෙන්ටුව හරිම පොසිටිව්, ඒ වගේම අවංක කොමෙන්ටුවක්.

      ඔබ කියන බොහෝ දේට මම එකඟයි. විශේෂයෙන්ම අපේ සමාජ වටපිටාව තුල ගැහැණු ළමයෙකුට ඇත්තටම යම් නිදහසක් ලැබෙනවා විවාහයෙන් පසු. විදේශගත උනාම නොදැනුනාට, මම වැකේෂන් එකට ලංකාවට ආවම කිහිප වරක් ඇවිදින්න ගියා අපේ අක්කගෙ බබාව වඩාගෙන. මහා දුරක් නෙවෙයි, මේ ගෙදරින් මීටර් 200ක් විතර දුරින් තියන මාළු කඩේට. ඒ ටිකටත්, අනිත් අය හැසිරෙන විදියේ වෙනසක් තිබුණ. ඉතින් ඒ නිසා හොඳ කෙනෙක් එක්ක විවාහ උනාම ජීවිතේ පහසු වන බව හා නිදහසක් ලැබෙන බව ඇත්ත. පසු කලකදී කවුරුවත් නැති වෙයි කියල හිතෙන එකත් එකේම අතුරු ප්‍රතිඵලයක් තමයි, මොකද කොයි තරම් ආගමික නැඹුරුවක් තිබුණත් අපේ රටේ කෙනෙකුට තනිව ජීවත් වීමේ නිදහස අඩුයි.

      ඔබේ උපදෙස් ටිකක් අපූරුයි. බොහොම ස්තුතියි. හැමදාම ඔය වගේ සුබවාදීව ජීවත් වෙන ගමන්, අනිත් අයටත් සුබවාදී වීම බෙදා දෙන ලෙස ඉල්ලා සිටින්න කැමතියි.

      Delete
  3. //බ්ලොග් අවකාශයේ ඉන්න තරමක් ඉන්නේ, කසාද බැඳපු, තලන්තෑනි, ලොම් හැලිච්ච පිරිමි නිසා.//

    +++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. ගුටි කන්න වෙයිද දන්නෙත් නෑ. :)

      Delete
    2. මට තාම වයස 87 ක් නිසා ප්‍රශ්ණයක් නැහැ. ඒ වුණාට බ්ලොග් ලියන වයසක අයට නම් තරහ යන්න පුළුවන් තමයි.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. ඉහත කොමෙන්ටුව දැමූ ඇනෝ ට ලියමි.

      http://minisunathara.blogspot.co.uk/2013/03/blog-post.html

      ඔබට අවශ්‍ය නම් බලන්න පුළුවන් මේ තියෙන්නේ මගේ මුල්ම පොස්ටුව. දිනය 2013 මාර්තු 28 වෙනිදා. එදා සිට අද දක්වා දල වශයෙන් දින 1732 ක් ගත වී ඇති.

      මම මේ කොමෙන්ටුව දමන විට ඉහල වම් පැත්තේ ඇති පේජ් විව්ස් ගණන, 19,693 යි. ඒ කියන්නේ දිනකට දල වශයෙන් විව්ස් 11 යි. මගේ බ්ලොග් එකේ සෙටින්ස් වල හැටියට, මගේම පේජ් විව්ස් නුත් ඔය 19,693 ඇතුලේ තියනවා, ඒවා ඉවත් කලොත් දිනකට බ්ලොග් එක කියවන බාහිර පාඨක පිරිස දෑතේ ඇඟිලි ගණනට වඩා බොහෝ අඩුයි.

      වේලෙන බ්ලොග් එකක අපහාසාත්මක කොමෙන්ටු දමන්න ඔබ වැය කරන මහන්සිය අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද?

      ඒ වගේම, බ්ලොග් එක පටන් ගත් දා පටන් අද දක්වා දල වශයෙන් මාස 57ක් පුරා, මවිසින් පෝස්ට් 39ක් ලියා තිබෙනවා. ඒ කියන්නේ, මාස එකහමාරකට එක පෝස්ට් එකක් වගේ. ආත්ම තෘප්තියට ලියන කෙනෙකුට අලුත් පෝස්ට් එකක් ලියන්න මාස එකහමාරක් යන්නේ නැහැ. මම බොහොම කම්මැලි කෙනෙක්. බ්ලොග් එකකින් රචකයාට ලැබෙන ආත්ම තෘප්තියට වඩා කලකිරීම වැඩි වන්නට, මෙවැනි සිදුවීම් හේතු වෙනවා.

      කියවා විඳින්නට සිංහල බ්ලොග් තියෙන්නේ අල්පයි. අපි, දේශපාලනික, හෝ වෙනයම් මතවාදීය වශයෙන් වෙනස් ඇති. ඒ ගැන කතා කරමු, වාද කරමු, පෞද්ගලිකත්වය ගාවා නොගෙන.

      Delete
    5. සහෘද බ්ලොග් කරුවන් වෙත ලියමි.

      කොමෙන්ටු වාරණයක් නොකරන්නේ හා ඇනෝ බ්ලොක් නොකරන්නේ, මගේ මතය අනුව එය විනිවිද භාවය හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇති කරවන නිසයි. නමුත් මගේ ප්‍රතිපත්තිය අනුව, බාහිර පුද්ගලයින්ට අපහාස කරන කොමෙන්ටු මම ඉවත් කරනවා. දුරකථනයේ ඊ මේල් හැම තිස්සෙම බලන මට, ඇතැම් ඇනෝ කොමෙන්ටු එන්නේ ස්පෑම් ෆෝල්ඩර් එකට නිසා, දකින්න පරක්කු වෙලා ඉවත් කරන්නට පමා වූ අවස්ථා තිබෙනවා. මම ඒ පිළිබඳව ඔබ සැමගෙන් සමාව ඉල්ලා සිටිමි.

      Delete
    6. ඉයන් සීයේ,

      //මට තාම වයස 87 ක් නිසා ප්‍රශ්ණයක් නැහැ. ඒ වුණාට බ්ලොග් ලියන වයසක අයට නම් තරහ යන්න පුළුවන් තමයි//

      මේක ඇත්තට කියුව දෙයක්ද?

      ඒක එහෙම නම්, මට කියන්න තිබෙන්නේ ඔබට වයස 87ක් කියා නම් හිතෙන්නේ වත් නැති බවයි. මේක බලන්න.

      https://www.youtube.com/watch?v=hjHnWz3EyHs

      බොරුවට කිවුවා නම් ඉතින් මට මුකුත් කියන්න ඕනේ නෑ අනිත් අය අවශ්‍ය පිළිතුර දේවි.

      Delete
  4. ඔබ බටහිර රටක දැන් ඉන්න නිසා මෙය තේරුම් ගන්න පහසු වෙයි. විවාහයක් කියන්නේ සම්මතය නිසාවත්, ගෙදර හෝ අන් අයගේ අවශ්‍යතා නිසා වත්, මව්පියන්ට මුණුබුරන් ඕන නිසාවත්, දරුවන් ලබන්න කැමති නිසා වත්, ජීවිතයේ කරගත යුතු දෙයක් නෙවෙයි. මට විවාහ වෙන්න ඕන ඒ නිසා මේ මේ ගති ගුන තියෙන කෙනෙක් හොයනවා කියන හරියට මට වාහනයක් ගන්න ඕන ඒ නිසා මේ මේ ෆීචර්ස් තියෙන වාහනයක් හොයනවා කියනවා වගේ. දරුවෙකු හදන්න ඕන නම් දරුවෙකු adopt කරගන්න පුළුවන්. ඒකෙන් ඒ අවශ්‍යතාවය පිරිමැහෙනවා වාගේම අයාලේ යන්න ඉඩ තිබෙන ජීවිතයක් ඉහලින්ම උස්සා තබන බොහොම පින් අයිතිවෙන දෙයක්. එමෙන්ම විවාහ නොවී තමන්ගේම ළමයෙක් හදාගන්න විද්‍යාත්මක ක්‍රම බටහිර ලෝකයේ අනන්තවත් තියෙනවා.

    තනිකම, පාළුව වගේ දේවල් වලට විවාහ වෙන්නම ඕන නැහැ. තමන් එකට ජීවත් වීමට සතුටු කෙනෙක් එක්ක ජීවත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බටහිර රටවල්. එතෙන්දි තමන් එම පුද්ගලයා ගැන අසතුටු නම් ඕනම වෙලාවක එයින් ඉවත් වෙන්න පුළුවන්. එහෙම අනෙකාට අයින් වීමේ පහසුව නිසාම taking other person for granted කියන දේ වෙන්නේ නැහැ. අනික් පුද්ගලයා තමන්ගේ ජීවිතයේ ඉන්නවට කැමති නම් ඒ පුද්ගලයාගේ කැමති අකමැති දේවල් ගැන වඩාත් සැලකිලිමත් වීමක් එවන් එකක සිදුවෙනවා.

    ඔබ විවාහ වනවානම් වියයුත්තේ එකම හේතුවක් සඳහාම පමණයි. ඔබ ආදරය කරන පුද්ගලයා තවදුරටත් ඔබගේ ජීවිතයේ තබා ගැනීමට අවශ්‍යම නම් පමණක් විවාහ වීම හොඳයි. එහෙම නැතිව විවාහ වෙන්න කියලා ආදරය කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක් හොයන එක වැඩේ වැරදි පැත්තෙන් අල්ලා ගැනීමක්.

    ඒවගේම අපේ සංස්කෘතිය, භෞමික අඛන්ඩතාවය, උණ්ඩුක පුච්චය නිසා විවාහ නොවී ආදරය කිරීමට විරුද්ධයි වගේ අදහස් තියෙනවානම් ලොතරැයි ගන්නවා වගේ විවාහ වෙන්න. හරි ගියොත් හරි යයි. වැරදුනොත් දාර්ශනිකයෙක් වෙයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ අර උපුටා දක්වපු විදියට, විවිධ ගැහැණු ජීවිතේ විවිධ කාලයන් වලදී කරන කියන දේට හේතු, ඔබේ මේ කොමෙන්ටුව තුල තියනවා. පැහැදිලිව, වෙලාව අරගෙන ලිව්වාට බොහොම ස්තුතියි.

      Delete
  5. ඔතන තියෙන්නෙ වගකීම ඇති සහ නැති කාලයන් තුල මිනිස් ස්වභාවයේ වෙනසක්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේද? මිනිස්සු කැමතියි නේ ඕන වෙලාවක මැසිවිලි කියන්න?

      Delete
  6. රවී වීරසිංහ මහත්තයා කියනවා මේක එයා දැකල තියෙන දිගම මංගල යෝජනාවලු. jk

    ReplyDelete
    Replies
    1. හපොයි. රවී තුමා මේ දවස් වල ඉන්නේ The Story of My Marriage එකේ අනන්‍යා ගේ විවාහ යෝජනාව ගැන ලියන ගමන් නිසා, හැම දෙයක්ම පෙන්නේ මංගල යෝජනාවක් වගේ වෙන්නැති. :D
      අනික, විවාහක, තලන්තෑනි පිරිමි ඉන්න බ්ලොග් අවකාශේ විවාහ යෝජනා දාල වැඩක් තියද? :P

      Delete
  7. කිව්වට තරහ වෙන්න එපා ඔයා තාම විවාහ වෙන්න සුදුසු මානසික මට්ටමක නැහැ. විවාහය කියන්නේ ලාභ නොලබන ගනුදෙනුවක් කියලයි මගේ අදහස.

    අවුරුදු ගානක් ලෝකේ දියුණුයි සම්මත රටක ජීවත්වෙන කෙනෙක් විදිහට මේ රටවල්වල විවාහක පවුලක සැමියා , බිරිඳ සහ ලංකාවේ සැමියා, බිරිඳ මම දකිනෙ අහස පොලොව තරම් වෙනස් විදිහට. ලංකාවේ ගැහැණිය සමතැන ඕන කියල කිව්වට ලංකාවේ ගැහැණියට පිරිමියෙකු හා සමානව ඕනෑම දෙයක් කිරීමේ හැකියාව නැහැ. උදාහරණයක් විදිහට කියනවනම් ලංකාවේ පිරිමියා ගහට නැගල පොල් ගෙඩිය කඩද්දි ලංකාවේ ගැහැණියට ඒ හැකියාව නැහැ,ලංකාවේ පිරිමියා මෝටර් සයිකලයක් හෝ වාහනයක් පදවගෙනය යද්දී ලංකාවේ බිරින්දෑ වරුන්ගෙන් බහුතරයකට ඒ හැකියාව නැහැ. ඒත් බටහිරට වෙන්න ගැහැණිය පිරිමියාගෙන් වෙනස් වෙන්නේ ලිංගික ක්‍රියාවලියේදී පමණයි. බටහිරදී, පිරිමියා නැහැ, මියගියා , හැරගියා, කියන තැනදී බිරිඳ ආර්ථික හෝ සමාජ සංස්ථාව ඇතුලේ කොතැනවත් අසරණ නැහැ. ඒත් ලංකාවේ බිරිඳ ඔය කිව්ව වාතාවරණය ඇතුලේ බොහොම අසරණයි.

    ගැලපීම නොමැති තැන පැවතීමක් නැතිවුනත් පෙරදිග සංස්කෘතිය ගැහැණියට බලකරනවා මැරෙනතුරු එකම සැමියා සමග ඉඳගෙන ජීවිතේ අපහසුවෙන් ගතකරගෙන යන්නට. ඒත් අපරදිග සංස්කෘතිය ඇතුලේ ගැහැණියට නිදහස තියෙනව ගැලපීමක් නැතිනම් වෙන්වෙලා තනියම ජීවත් වෙන්නට හෝ වෙනත් විවාහයක් කරගන්නට. ලංකාවේ සංස්කෘතික වාදීන් මේ ලියන්න යන දේට මා එක්ක උරණ වෙන්න පුළුවන් උනත් "Living together" සංකල්පය බොහොම සාර්ථක ක්‍රමවේදයක් තමුන්ට විවාහ වෙන්න ඕනෙද, සකහරුවා ඊට සුදුසුද යන ප්‍රශ්න වලට සාර්ථක පිළිතුරු සොයාගන්න. ඒත් පෙරදිග සංස්කෘතියේ අඳුරු අහුමුලුවල තිබෙන කන්‍යාභාවය වැනි ගෝත්‍රික ලක්ෂණ නිසා ලංකාවට ඔය ලිවින් ටුගෙදර් සංකල්ප තව අවුරුදු පන්සීයකටවත් ගැලපෙන එකක් නැහැ. ගැහැනියගේ කන්‍යාභාවය හොයන සංස්කෘතිය පිරිමියාගේ කන්‍යාභාවය ගැන ප්‍රශ්නකිරීමක් කොතැනවත් සිදුකරන්නේ නැහැ. කන්‍යාභාවය තිබේනම් ගැහැණිය ඉතා සුපිරිසිදු කාන්තාවක් කියන ගොන් මෝඩ මරි උපකල්පනයකුත් අපේ මිනිස්සුන්ගේ ඔළුවල තියෙනවා උනාට කන්යාවියන් බහුතරයක් ඇඟේ මැස්සෙක්වත් වපු නැති උදවිය නොවෙන වග දන්නෝ දනිත්නේ. ඉතින් පිරිමි පක්ෂයට පක්ෂයකට අදිනසුලු වැඩි වාසි හිමිවෙන සංස්කෘතියක් යටතේ ලංකාවේ විවාහය කියන්නේ හුඟක් වෙලාවට පිරිමියාට ගැහැණිය "ඔන්න ඕනෑම දෙයක් කරගනින් " කියන අප්‍රකට මාර්තෘකාව යටතේ නීත්යානුකුලවම අයිතිකර දීමක්. එතැනදී ලාභ නොලබන සැමියෙකු ලැබුනොත් බිරිඳත් ලාභ නොලබන බලාපොරොත්තුවේ සිටිනවානම් ඔවුන් බොහොම වාසනාවන්තයි.

    ලාභය කියන වචනය ඇතුලේ මම අදහස් කරන්නේ ශ්‍රමය, කාලය, සහ මුදල් යන තුනෙන්ම විවාහය ජීවිතය ලාභ නොලබන ගනුදෙනුවක් වියයුතුයි. අද මම පිඟන් හේදුවා හෙට ඔයා හෝදන්න ඕන කියන වගේ සහ අද මම ලමයගේ හෝම්වර්ක් කරා හෙට ඔයා කරන්න ඕන, අද මට මහන්සියි ඔයා අද මොනවහරි උයන්න, වගේ කන්සෙප්ට් වල තනිකරම තියෙන්නේ ලාභ ලැබීමේ අරමුණක්. සැමියා හෝ බිරිඳ තමුන්ට වෙච්ච පාඩුව අනෙකාගෙන් කවර් කරගන්න හදන පවුල් වර්තමානයේ බහුලයි. එතැනදී අනෙකා වෙනුවෙන් තමාගේ සැප, කාලය, ශ්‍රමය,මුදල්, කැපකිරීම කියන සංකල්පයක් නැහැ. ඉතින් ඒ වගේ පවුලක් රටට ලෝකෙට පේන්න ළමයාව පිටිපාසේ සීට් එකේ ලස්සනට තියාගෙන කාර් එකේ නැගල ගියාට ඔවුන් ඇතුලේ පවුලක ගති ලක්ෂණ නැහැ කියලයි මගේ අදහස.


    ReplyDelete
    Replies
    1. අනෙකා වෙනුවෙන් තමාගේ ඕනෑම දෙයක්, පසුව ලාභ නොලබන සහ පසුව අයකරනොගන්නා මනසක් හදාගන්න පුලුවනිනම් විවාහ වෙන එක ඇරෙන්න අනෙකා වෙනුවෙන් ඔය දේවල් කරන්න බැරිනම් විවාහ වෙන එක තේරුමක් නැති වැඩක්. මොකද එහෙම විවාහ ඇතුලේ එක්කෙනෙක්, දරුවන්, හෝ සියල්ලන්ම පීඩාවට පත්වීම පමණයි සිදුවන්නේ.

      අවිවාහකව ජීවත්වීම සම්භන්ධව ලංකාවේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි ගැහැනියගේ ආරක්ෂාවට කෙනෙකු නොමැතිවීම. බටහිර රටක තනිකඩ ගැහැණිය පැය 24 ම සමාජයීය සහ සංස්කෘතිය ඇතුලේ ආරක්ශාකාරීයි. ඒත් ලංකාවේ තනිකඩ ගැහැණිය පැය 24 ම සමාජයීය සහ සංස්කෘතිය ඇතුලේ අනාරක්ෂිතයි. එතැනදී ලංකාවේ ජීවත්වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනං විවාහ වීම බොහෝදුරට ඥානාන්විතයි.

      නිදහස අත්විඳීම කියන කාරනාව ඇතුලේ තමුන්ගේ නිදහසේ සීමාව විවාහක කාන්තාවක් වශයෙන් හොඳ අවබෝධයකින් සිටිනවානම් නිදහස පිලිබඳ ගැටළුවක් මතුවෙන්නේ නැහැ. තමුන් නිදහස පරිභෝජනය කරන ආකාරය අනුව තමුන්ගේ සැමියාට හෝ බිරිඳට යම් අපහසුතාවයක් සිදුවේදෝ යන්න තැකීමක් කරන්නේ නැතිනම් එම නිදහස් පරිභෝජනයෙන් වන්නේ අවැඩක් පමණයි.

      දරුවන් නිසා විවේකයක් නැහැ කියන කතාව ලංකාවේ ගැහැනුන් බොහෝදුරට කියන්නේ ඔවුන්ගේ ජීවිතවල පිළිවෙලක් නැතිකම නිසයි. දරුවන් බිහිවන්නේ දරුවන් බිහිකිරීමේ අරමුණෙන් පමණක්ම නම්, එම දරුවන් ලිංගිකත්වය විඳීමේ අතුරුපලයක් නොවේනම් ඔය කියන චෝදනාව ඔවුන් නගන්නේ නැහැ. ඔවුන් එහෙම චෝදනා කරනවානම් වරද තිබෙන්නේ ඔවුන්ගේ ජීවිත පවත්වාගෙන යන ආකාරයේ මිසක් දරුවන්ගේ නොවෙයි. දරුවනුත් ජීවිතේ විඳින, දෙමාපියනුත් ජීවිතේ විඳින පවුල් ඕන තරම් ලංකාවේ ඉන්නවා. ඔවුන් ඔවුන්ගේ ජීවිත බොහොම සාර්ථකව කළමනාකරණය කරගෙන ලාභ නොලබන අරමුණෙ පවුල් සංස්ථාව පවත්වාගෙන යනවා. එහෙම නැති උදවිය කාට හෝ චෝදනා කරමින් තමුන්ගේ ඇරියස් එක කවර් කරගනිමින් දවස ගතකරනවා.

      ලිවින්ටුගෙදර් කන්සෙප්ට් එකට අනුගත වෙන්න නොහැකිනම් විවාහ විය යුතුද නැද්ද කියන ප්‍රශ්නයට සාර්ථකම පිළිතුර සොයාගත හැක්කේ තමුන් තමුන්ව හැදෑරීමෙන් පමණයි .

      Delete
    2. බොහොම ස්තුතියි වෙලාව අරගෙන දිගු කොමෙන්ටුවක් දැම්මට.

      ඇත්තටම ඔබ කී දේ ගැන මට තරහ වන්නට කිසිම හේතුවක් නැහැ. බ්ලොග් ලියන අය ලෙසින් ගත් විට, අපි හැමෝම සමානයන් පිරිසක් වුණාට, මෙහි ලියන ඔබ බොහෝ අය මට වඩා වයසින්, අත්දැකීම් වලින් පරිණතයි. පුද්ගලික තොරතුරු බ්ලොග් එකේ බොහොම අඩුවෙන් ලියන කෙනෙක් වෙලත්, මේ පෝස්ට් එකේ ටිකක් වැඩිපුර තොරතුරු අවංකව දැම්මේත්, කියවන අයට මා ගැන පැහැදිලි චිත්‍රයක් මවාගෙන අදහස් දක්වන්නට පහසු වනු පිණිසයි. (ලියමන රසවත් කරගන්නට වැටුණු අඩුවැඩිය හෝ ෆෙලෝ බ්ලොගර්ස් ලාට මහලුයි කියා විහිලු කිරීම හැරුණු කොට)

      ඔබ කියන බොහෝ කරුණු වලට එකඟයි. ඒ වගේම ඔබ කියනවා වගේ, සතුටුදායක ජීවිත ගත කරන බොහෝ අය ඇති. මගේ වයස හා අධ්‍යාපන කටයුතු වල ස්වභාවය අනුව, වයස 35-40 වූ කාන්තාවන් එක්ක යාලුවෝ වගේ සමීපව ආශ්‍රය කරන්නට ඉඩ ලැබෙනවා අඩුයි. ඒ නිසා මට මුණගැහුණු සාම්පල් එක කුඩයි. ඒක ඇත්තටම අඩුවක්. මම කැමතියි විවිධ පුද්ගලයන් ජීවිතේ නොයෙකුත් දේ දකින විදිහ කතා බහ කරන්නට, නමුත් අඩුවෙන්ම මුණගැහෙන්නේ වැඩිහිටි පිරිස.

      Delete
  8. තුදු නන්කී වෙත,
    ඔබේ විවාහ යෝජනාව සලකා බැලීමට මම කැමැත්තෙමි........අයදුම් පත් යොමු කලයුතු ඊ මේල් ලිපිනය එවන්න.

    ReplyDelete
    Replies
    1. හායි තඩී,

      මම ගියා ඔබේ බ්ලොග් එක බලන්න. අපූරු බ්ලොග් එකක්, අද තමයි හම්බුනේ. කියවලා කොමෙන්ටුවක් එහෙම දාන්නම් කෝ.

      අනේ මේක විවාහ යෝජනාවක් නෙවෙයි ඉතින්. :)

      Delete
  9. ඔබ නගලා තියෙන ප්‍රශ්ණ ගෑණුන්ට විතරක් තියෙන ඒවා නෙවෙයි, පිරිමින්ටත් එක ලෙසම තියෙනවා. අවුරුදු 34 වෙනකම් මමත් තීරණය කරලා තිබ්බේ විවාහ වෙන්නේ නෑ කියලා. ඒත් තරුණවිය පහුවේගෙන යනකොට තනිකඩ ජීවිතය ඒකාකාරී, වෙන්න ගත්තා. අවුරුදු 10 විවාහ ජීවිතයකින් පස්සේ, විවාහ වෙන්න ගත්ත තීරණය ගැන කිසිදු පසුතැවීමක් නෑ. තනිකඩ ජීවිතයට වැඩිය මේක ඇඩ්වෙන්චරස්.
    මගේ අදහස නම්, විවාහ ජීවිතය වදයක්, අමිහිරි දෙයක් වෙන්නේ සාම්ප්‍රදායික විවාහ රාමුව ඇතුලේ අපිම කොටු වෙන්න හදන නිසා. උදාහරණයක් ගත්තොත් ලංකාවේ කාන්තාවක් විවාහයකින් පසුව, කලින් ජීවත් වෙච්ච විදිහ සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් කරනවා. ඔවුන්ට විනෝදාංශ නෑ, පරණ යාළුවෝ අයින් වෙලා, විලාසිතා කරන්නේ බොහෝ සීරු මාරුවට.
    දරුවන් ලැබුනට පසු මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා. ඊට පස්සේ ඔවුන්ගේ තේමා පාඨය වෙන්නේ "අපි හැම දෙයක්ම කරන්නේ දරුවෝ වෙනුවෙන් " කියන එක. ලංකාවේ අම්මලා අවශ‍ය ප්‍රමාණයට වැඩිය දරුවො පස්සේ දුවනවා. දරුවන් වෙනුවෙන් බොහෝ දෑ කලයුතු බව ඇත්ත. ඒ වගේම තම සහකරුවා වෙනුවෙනුත්, තමන් වෙනුවෙනුත් කලයුතු දෑ, බොහෝ තිබෙනවා. මේවට අවශ්‍ය කාලය, ශක්තිය හරි විදිහට වෙන්කර ගන්න ඕනේ. තමන්ටම කියා වෙලාවක් වෙන්කර ගන්න ඕනේ. (හැම මගුලම, කසාදය ඇතුලේ කරන්න ඕනේ නෑ ). ඒවගේම ගෙදර වගකීම්, දරුවන්ගේ වගකීම් හරියට බෙදා ගන්න ඕනේ. දරුවන් උස්මහත් වෙනකොට ඔවුන්ට තනියම වැඩපල කර ගන්න හුරු කරවන්න ඕනේ. (හැම මගුලටම ඇඟිලි ගහන්න ඕනේ නෑ ). නව හැවිරිදි මගේ දියණිය, තනිවම එලර්ම් එක තියාගෙන, උදේට නැගිටලා, ඒයාගේ කෑම කාල, ඇඳුම් ඇඳගෙන, මූනකට සෝදගෙන, මා වැඩට යන්න එලියට බහින වෙලාවටම, මාත් සමග යන්න සූදානම්. හැම වැඩක්ම ඇය තනියම කරගන්නවා. උදේට අපේ ගෙදර යුද්ධයක් නෑ. මේ දිනවල නිවසේ සිටින, මගේ බිරිඳට අවශ්‍ය නම් දවල් වෙනතුරු නිදාගන්න කිසිදු බාදාවක් නෑ.
    ඔබ විවාහ විය යුත්තේ, එය ඔබට අවශ්‍ය නම් පමණයි. ඒවගේම ඒ විවාහය තුල, ඔබට තීරණ ගැනීමේ නිදහස, නිසි ගරුත්වය, ආර්ථික නිදහස ඇත්නම් පමණයි. (හැම මගුලම තිබ්බත් වැඩක් නෑ ආදරය නැත්නම්, හැබැයි ආදරය විතරක් තියාගෙන විවාහයකට යෑම නම් අවදානම් )
    ලිවිං ටුගෙදර් කියන එකනම් ඔප්ෂන් එකක් විදිහට මගේ ජීවිතේට ඇවිල්ලා නෑ, මොකද විවාහ උනත් අපි ජීවත් වෙන්නේ ලිවිං ටුගෙදර් වගේ නිසා. ඔය දෙකෙන් මොක උනත්, ඔබට විශාල කාලයක්, ශක්තියක්, කැප කිරීමක් ඒ වෙනුවෙන් යොදවන්න වෙනවා. එයින් ඔබට ලැබෙන අත්දැකීමත් ඒ වගේම විශාලයි. ඒකයි මම කිව්වේ ඒක ඇඩ්වෙන්චරස් කියලා.


    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුවටත්, මේ පැත්තේ ආවාටත්, ස්තුතියි. ඉතා ලස්සන කොමෙන්ටුවක් මේක. ආදරෙන් පිලිගන්නවා බ්ලොග් එකට.

      Delete
  10. මේක කියන්නෙ ඔබගේ පොස්ට් එකට අදාලව මගේ පෞද්ගලික අත්දැකීම් අනුව කියන්ට තියෙන දෙයක් මිසක් අවවාදයක් හෝ ඔබ කල පිලිගන්නම හෝ කල යුතු දෙයක් විදිහට සලකන්න එපා.

    මමත් වසර ගණනාවකට පෙර ගෙදරින් ගෙනා විවාහ යෝජනාවක් අනුව 90%ක නැකත් ගැලපීමත් මත විවාහ වෙලා සති කිහිපයකින් දික්කසාද උනා. (මම අදටත් ඇය ට වරදපටවන්නේ නැහැ)

    ඇත්තම කියනවනම් මම කසාද බැන්දෙ අම්ම තාත්ත සතුටු කරන්න ඕන නිසා ඒ අයගෙ පවුලේ ඔය එනම් මනම් නිසා මිසක් මම කවදාහරි කසාද බඳින්නෙ මෙහෙම කෙල්ලෙක් කියා මම හිතාගෙන හිටිය කෙල්ලට තිබෙන්න ඕන කිසිම ගුණයක් හැඩරුවක් හෝ ඒ ලඟින් යන කෙනෙක් නිසා වත් නෙමෙයි. (කෙල්ලෙක් හෝ වෙලා කොල්ලෙක් හෝ වේවා අපි හැමෝන්ගෙම හිතේ තියෙනව අපි කවදාහරි යාලු වෙන්නෙ බඳින්නෙ මෙහෙම කෙනෙක් කියල)

    මේකට හේතුව තමයි අපි ආශ්‍රය කරන කාලයේ අපි බඳින්න යන කෙනාගෙන් අපේ නියම ස්වබාවය හංගනව.
    උදාහරණයකට ෆිල්ම් එකක් බලන්න යද්දි, රෙස්ටුරෙන්ට් එකකට කන්න යද්දි, දෙයක් ඕඩර් කරද්දි, ඇඳුමක් පලඳුමක් තෝරන්න යද්දි අපි වගේම මම හැම වෙලාවකදීම තැන දුන්නෙ ඇයගේ කැමැත්තට. (මේ දේවල් කෙල්ල හෝ කොල්ල කියා දෙපාර්ශවයම කරන වැරදි කිව්වොත් හරියටම හරි) ගොඩක් වෙලාවට දෙපැත්තෙන්ම ගොඩක් දේවල් අනිකා වෙනුවෙන් කැප කරනව. ඒත් ඒ දේවල් ස්ථිරවම නෙමෙයි.

    නමුත් තත්වය බරපතල වෙන්නෙ විවාහ වෙලා එක ගෙදර එකට වාසය ආරම්භ කරනකොට. මොකද එතකොට තමයි තමාගේ සහකරු හෝ සහකාරියගේ නියම ස්වභාවය දැනගන්න පුළුවන් වෙන්නෙ.සමහරු මේ දේවල් කතා බහ කරල විසඳ ගන්නව. තවත් සමහරු විසඳ ගන්න බැරිනම් එව දරාගෙන කසාදය බේරගන්න පුළුවන් නිසා සහ ලෝකයෙන් වසන් කරගන්න ඕන නිසා ඉවසගෙන මුළු ජිවිතයම අපායක් කරගන්නව. තවත් පිරිසක් රණ්ඩු කර කර ජිවත් වෙනවා. තවත් සමහරු ජීවිතය අපායක් කරගන්න බැරි නිසා උසාවියට ගිහිං දික්කසාද වෙනව.

    මම තෝරගත්තෙ ඔය කියපු දේවල් වලින් අන්තිම දේ. ලංකාව වගේ රටක දික්කසාදය වගේ තීරණයක් ගන්න හරිම අමාරුයි. එක නිකං මිනිස් ඝාතනයක් කරලා ජීවිතාන්තය තෙක් හිරේ යනව වගේ වැඩක්. මටත් මේ හිරිහැර හැම දෙයකටම මුණ දෙන්න උනා. නෑදෑයන්ගෙන් මානසික හිරිහැර වලට වැඩ කරන ස්ථානයේ මිනිස්සුන්ට මුහුණ දෙන එක සමාජයට මුහුණ දෙන එක. හැබැයි මම ඒ හැම දෙයකටම සාර්ථකව මුහුණ දුන්න. මොකද මේ තීරණය ගත්තේ මම. ජීවිතය කියන්නෙ විඳින්න තියෙන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක් නෙමෙයි. මේ හැම දෙයක්ම එක්කම මේ රටේ සුදු මිතුරු මිතුරියන් ගොඩක් මාව දිරිමත් කළා. අද කවුරුහරි මගෙන් ඇහුවොත් උබ මැරි කරලද කියල කිසිවක් හිතන්නෙ නැතිව කෙලින්ම කියනව දික්කසාද වෙලා කියල. ඕක සුද්දෙකුට සුද්දියෙකුට කිව්වොත් ඔකේ කියල නිකං ඉන්නව. නමුත් ආසියානු මිනිහෙකුට එහෙම උත්තර දුන්නොත් ඒකට හේතුවත් ඌ අහනව. දැක්කද වෙනස? මේ ආසියාතික මිනිස්සු අනිත් මිනිස්සුන්ගෙ කුණු රසයට පට්ට ලව්.

    අනිත් එක කොල්ලෙක් කෙල්ලෙක් ලව් කරන්න පටන් ගත්ත ගමන් ඉල්ලනව ෆේස් බුක් පාස් වර්ඩ් එක. ඇයි ඒ? හේතුව දෙන්නම දෙන්නට පන ඇරල ලව් කලත් දෙන්නටම දෙන්න ෂුවර් නැහැ. හැබැයි ඔය ෆේස් බුක් කතන්දරනම් විවාහ ජිවිතයට සැහෙන්න බලපෑම් කරනව.

    මටත් ඒ දවස්වල මගේ හිටපු එක්කෙනා මගෙන් ෆේස් බුක් පාස්වර්ඩ් එක ඉල්ලුවහම කෙලින්ම දුන්න. මොකද මගෙ ෆේස් බුක් එකේ ඇති හොර ලබ්බක් නැති නිසා. ඒත් එයා මම වගේ මගේ මිතුරන් කිහිපදෙනෙක් එක්ක මම වගේ චැට් කරල අපේ මිතුරුකම් පවා නැති උනා.

    ඔය ෆේස් බුක් වල බැඳපු යහළුවන් දාන කපල් ෆොටෝස්, ස්ටේටස් කොහොම උනත් සමහර ඇවුන්ගේ ලයිෆ් එක ෆක්ඩ් අප්.

    ReplyDelete
    Replies
    1. දවසක් ඉස්සර මම එක්ක බැංකුවේ යාලුවෙක් ගෙන් කෝල් කිහිපයක් එක සැරේට ආව. ගොඩක් වෙලාවට මම නිදි අතරෙ හෝ වැඩ කරන ගමන්. ඌ කසාද බැඳල ෆේස් බුක් එකේ හැටියට හින්දි ෆිල්ම් එකක වගේ ජිවිතයක් ගෙනියන එකෙක්.

      පස්සේ මම ඌ ට කෝල් කළා.

      මම : ආ.. මචං ජනක. සොරි බන් මට මිස් උනා උබේ කෝල්ස් ටික. ඉතිං කොහොමද බන් ජිවිතේ? උබයි වයිෆුයි හොඳින් ඉන්නවනේ..??

      ජනක : පොඩි පොඩි අවුල් ටිකක් තියෙනව ටික්කො. මම ඒකයි උබටම මේ කෝල් කලේ.

      මම : ඇයි බන්. මොකෝ අවුල? ඇන්ටි හරි අන්කල් හරි අසනීපෙන්ද ?

      ජනක : නෑ බන් ටිකක. family ප්‍රොබ්ලම් එකක්. මම ෆුල් ලොස්ට් බන්. ලෝකෙටම ණයයි ටික්ක.. මේ ගැනිගෙන් බේරෙන්න බැහැ බන්. හම්බ කරන ඔක්කොම වියදම් කරනව. උබෙන් අඩ්වයිස් එකක් ගන්නයි කෝල් කලේ..

      මම : මොකක්? ඊයෙත් මම දැක්කෙ උබ ෆේස් බුක් එකේ ශෙයා කරලා තියෙනව ෆොටෝ එකක් ෆීලින් ලවුඩ් @ xxxx කොෆි ෂොප් කියල. අනික උබ කවුද කියලත් මම හොඳටම දන්නවනේ. උබ ඉතිං ඔය බැංකුවේ ක්ලීනර් ගෑනි එක්ක විතරනෙ යාළු වෙලා නැත්තෙ.

      ජනක : උබට තේරෙන්නෙ නැහැ බන් ටික්ක මම කියන දේ.. වයිෆ් අවුට් ඔෆ් කන්ට්‍රෝල් බන්.

      මම : ඒ කියන්නෙ උබේ ගෑනි අවුට් ඔෆ් කන්ට්‍රෝල් හා..??? එතකොට උබ ෆුල් කන්ට්‍රෝල් එකේ ඉන්නෙ හා?
      මගුලක් කතා කරන්නේ නැතුව හිටහන් බන්.

      ජනක : සිරාවටම මොකද කරන්නෙ කියල කියහන්කො බන්.

      මම : දික්කසාද වෙයන්. මටනම් කියන්න තියෙන්නෙ එච්චරයි. මොකද ඉතිං උබ ඔය කියනවිදිහට වයිෆ් එක්ක ජිවත් වෙන්න බැහැනෙ??? අනික ළමයිනුත් නැහැනේ???

      ජනක : දික්කසාද වෙන්න??? £X&^% ද බන්? තොට පිස්සුද දික්කසාද වෙන්න?

      මම : එහෙනම් විඳවපන්.. එච්චරයි. උබ මගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවනම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මොකද උබත් බයයි උබේ පටි රෝල් වෙනවට. මම තිබ්බ එහෙනං. බායි..!!


      මේ හැම දෙයකටම මුල අනිකා අනිකා ගෙ පෞද්ගලිකත්වයට ගරු නොකරන එක.කසාද බැන්දා කියා හෝ යහළු උනා කියල නිදහස පෞද්ගලිකත්වය තමන්ගෙ සහකරු නිසා සම්පුර්ණයෙන්ම නැති කරගන්න ඕන නැහැ.

      මේ ගැන අම්බලන්ගොඩ කතා ලියන කෙනා කියන්න ඕන ගොඩක් දේවල් කෙටියෙන් කියල තියෙනව.

      මමත් ආයෙ බඳිනව. ඒත් නොපෙනෙන ග්‍රහයොන්ටයි, පෙනෙන තාරක වල හැටියටයි අර කොටු ඇතුලෙ හිරවෙලා තියෙන ඉලක්කන්, කරන රස්සාව, දෙමව්පියන්ගෙ පෙළපත වත් පොහොසත් කම අනුව නෙමෙයි. ඒ ගැහැණිය ඇතුලෙ ජිවත් වෙන ඒ ගැහැනියගේ ගති පැවතුම් ගැන සලකල.

      අන්තිමට ඔබට කියන්න තියෙන්නෙ "යාළු වෙලා ආශ්‍රය කරල බලල බැඳපන් මචන්.. ලෝකෙටම එන්න කියල උන් ඔක්කොටම කන්න දීල කන්න බොන්න දීපු එකේ අඩු පාඩුත් කන්න දුන්නට පස්සෙ අහගන්නෙ නැතිව, පොඩියට උත්සවයක් අරගෙන මධු සමයට කොහේ හරි නොගිය රටකට පලයන්. සන්තෝස වෙයන්. ආදරෙන් හිටපන්. ප්‍රොබ්ලම් සොල්ව්ඩ්."

      Delete
    2. ටික්කා, ඔබේ කොමෙන්ටුවට බොහොම ස්තුතියි.

      "යාළු වෙලා ආශ්‍රය කරල බලල බැඳපන් මචන්.. ලෝකෙටම එන්න කියල උන් ඔක්කොටම කන්න දීල කන්න බොන්න දීපු එකේ අඩු පාඩුත් කන්න දුන්නට පස්සෙ අහගන්නෙ නැතිව, පොඩියට උත්සවයක් අරගෙන මධු සමයට කොහේ හරි නොගිය රටකට පලයන්. සන්තෝස වෙයන්. ආදරෙන් හිටපන්. ප්‍රොබ්ලම් සොල්ව්ඩ්."

      +++

      බොහොම ස්තුතියි. විවාහ උනොත් පොඩියට උත්සවයක් අරන් කොහේහරි නිස්කලංක ලස්සන රටකට ගිහින් එන්න නම් අදහසක් තිබුණ. ඔබත් ඒකම කියපු හැටි අපූරුයි.

      Delete
  11. තනිකම සතුටට පෙරලගත්තම ජීවත් වෙන්න පුළුවන් ඔබට් තියන මූලික ප්‍රශ්නය මටත් තියනවා මගේ පියත් මියගියා හදිසි ලෙඩකින් දැන් මටත් පෝරුවේ නග්ගන්න කවුරුත් නෑ. ඒ වගේම ඔහු නැති මගුල් ගෙයක් හිතන්නවත් බෑ. අනිත් එක මගේ ශරීර ස්වභාවයත් එක්ක බදින්න වෙන්නෙත් නෑ. මේ සියලු දේ බැලුවම ඔබ කියනවා වගේ ඇතැම් බැඳපු යාලුවන්ගේ ජීවිත දිහා බලපුවහම මේ ජිවිතේ හොඳයි කියලා හිතෙනවා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. සොයුරී.

      මුලින්ම පිළිතුරු පමා කලාට සමාව ඉල්ලනව.ඔබට හිතෙන දේ මටත් තේරෙනව, අපි දෙන්නටම පියා නැති අඩුව දැනෙන නිසා.

      ශරීර ස්වභාවය ගැන නම් හිතන්න එපා. මම ඔයාව දැකලා නෑ, නමුත් මට හිතෙන්නේ ඔයා ගොඩක් ලස්සන කෙනෙක් වෙන්න ඇති. ඒ වගේම අපි අකමැති ඇතැම් දේවල් අපට වෙනස් කරගන්න පුළුවන්, ප්‍රතිකාර, ව්‍යායාම, කෑම වගේ දේවල් වලින්. (මම මේ කියන්නේ විස එන්නත් කරගෙන වගේ නෙවෙයි, ශරීරයට අවැඩක් නොවෙන විදියට) කොණ්ඩෙට අකමැති නම් වෙනස් කරලා බලන්න පුළුවන්. ඒ වගේ.

      Delete
  12. අයිශෙ මොනාටද ඕවගෙන ඔච්චර හිතන්නෙ.. මට හොඳා කියල එකෙක් සෙට් උනොත් බැඳපං.... පස්සෙ කාලෙකදි හරියන්නෑ කියල හිතුනොත් ලිහපං... හරි සිම්පල් කේශ් එකක්නෙ අයිශෙ. ඕව හිතල ඔලුව කුරුවල් කරගන්න එපා අයිශෙ....අනික ලි‍ඳෙන් පිටනෙ ඉන්නෙ...ලි‍ඳෙන් පිටට ගියත් ගෝත්‍රික කම ඇර ගන්න බැරි වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. //ලි‍ඳෙන් පිටට ගියත් ගෝත්‍රික කම ඇර ගන්න බැරි වෙලා වගේ...//
      Ano, that's exactly what I thought

      To එක් මානවිකාවක්,

      Assuming that you are living in the West, where "age discrimination" is certainly not a social norm, I don't think it is sarcasm and it is not funny either.

      Delete
    2. AnonymousDecember 24, 2017 at 6:21 PM

      ඔබ කියන දේ හරි. ඕනෑවට වඩා හිතුවම තමයි ඔක්කොම ප්‍රශ්න.
      කොමෙන්ටුවට ස්තුතියි.

      Delete
    3. AnonymousDecember 25, 2017 at 6:06 AM

      Thank you for your comment, and for pointing that out.
      Will be mindful next time.

      Delete
  13. කියෙව්වා , මම බඳින්න කලින් ලිවින් ටුගෙදර් හිටිය සැහෙන කාලයක්. ඒක හොඳ අදහසක්. හැරී බඳින්නේ ඩිවෝස් වෙච්ඡ මෙගන් ව

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. ඒක හොඳ ඔප්ෂන් එකක්. බොහොම ස්තුතියි කොමෙන්ටුවට.

      Delete
  14. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෙව්වම තේරුණේ , හම්මේ මිනිස්සුන්ට තියෙන පස්න . ඇයි ඉතිං ඔය හැම මගුලම ඔලුවේ තියාගෙන ඔය හැටි හිතන්නේ . වෙන දේවල් වෙන වෙලාවට වෙයි .ජීවිතේ හැම රෙද්දම ප්ලෑන් කරන්න යන්න එපා (ඕනේ නම් කරගනිං මට මොකෝ ). මම නම් හිතන්නේ ජීවිතේම අහම්බ වලින් පිරිලා . එහෙම වුනාම තමා ජීවිතේ ත්‍රිල් ඒක තියෙන්නේ . ඔය කලකිරීම් සතුට දුක හැමදේම හිතින් හදාගත්ත දේවල්නේ . ජීවිතේ ඊළඟට වෙන්නේ මොනවද කියලා දැනගත්තම කොහෙද ගතියක් . ඕනවට වඩා හිතන්නේ නැතුව ජීවත් වෙන ඒක තමා බෙහෙත

    ReplyDelete
    Replies
    1. ඉවාන් කියන දේ හරි. මේ මොහොතේ ජීවත් වෙන්න ඕන.

      සමහර දේවල් ගැන ටිකක් වැඩිපුර හිතන එක කරදරයි තමයි, නමුත් මේ කොමෙන්ටු ටික ඇතුලේ ඇත්තටම ජීවිතේට ගන්න දෙයක් නැතුව නොවේ.

      Delete
  15. //මට කවදාවත් එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා තවත් කෙනෙකු සොයා ගැනීමේ අවශ්‍යතාවයක් දැනුණේ නැහැ.//

    //හොඳටම අසනීපෙන් ඉන්න වෙලාවක, උයාගන්න නැගිටින්න වත් ඇඟට පන නැති වෙලාවට, කඩෙන් කෑම එකක් ගේන්න වත් කවුරුහරි හිටියනම් කවුද අකමැති?//

    මානවී විවාහය කියන්නේ දෙදෙනෙක් අතර ඇතිවෙන අතිශය ගැඹුරු බැදීමක්, ඒ නැතුව අනිකාගේ ජීවිතය පහසු කරගන්න, තනිකම මකා ගන්න ඇති කරගන්න ආත්මාර්ථයක් නෙවේ...බැදීමකට දෙපාර්ශවයෙන්ම කමිට්මන්ට් එකක් තියෙන්න ඕනෙ...එක්කෙනෙක්වත් තමන්ගේ කම්ෆට් සෝන් එකෙන් එලියට නොයා විවාහ ජීවිතය ගත කරන්න උත්සාහ කරද්දි තමයි ඔය කියන සේරෝම ප්‍රශ්න...මිනිහෙක් හෝ ගැහැණියක් තමන්ගෙ රස්සාව බේරගන්න ඕනෙම අමාරු කාරියක් කරනවා, කැප වෙනවා, හැබැයි ඒ කෙනාම තමන්ගෙ පාට්නර් වෙනුවෙන්, විවාහය වෙනුවෙන් ඒ කැපවීම කරන්න අකමැතියි...

    කම්මැලි කම යන්න, කඩේ යවන්න කෙනෙක් හොයා ගන්න, තුරුලු වෙලා ඉන්න, ඔය එකකටවත් මැරි කරන්න ඕනෙ නැහැ...මිනිස්සු ඒවට විවිධාකාර ක්‍රම සොයාගන්නව...නමුත් ඒ දේවල් වෙනුවෙන් මැරි කරපු අය තමයි විවාහයේ බැදීමේ තියන තේරුමක්වත් නොදැන අවලාද කියන්නෙ...

    තමන් ආදරය කරන කෙනෙක් මුණ ගැහුනම, කෙනෙකුට හිතෙනව, ඒ තමන්ගෙ පාට්නර් එක්ක ජීවිතය එකට ගත කරන්න...දුක සැප, රැකවරණය, හැගීම්, අපේ අතිශය පුද්ගලික වෙන ජීවිතය බෙදාගන්න...අපි අදින පලදින කන බොන හැමදේම... අම්ම තාත්ත සහෝදරයෝ හැරුනකොට වෙන කවුරුත් නොදන්න අපේ සිතුවිලි, ක්‍රියාකාරකම්, ඒ කෙනා එක්කත් ශෙයා කරන්න...එතනදි සම්පූර්ණයෙන් අපේ කම්ෆට් සෝන් එකට අනුගත වෙන අය ලැබෙන්නෙ කලාතුරකින්...ඒ නිසා අපිට සිද්ධ වෙනවා අනික් කෙනා වෙනුවෙන් පුන්චි කැපවීමක් කරන්න...ඔය කියන කැපවීම කරන්න නම්, අර කිව්ව බොහොම ගැඹුරු බැදීමක් දෙන්න අතර තියෙන්න ඕනෙ...තනිකම මකාගන්න මැරි කරපු දෙන්නෙකුට ඒක කරන්න අමාරුයි..ඒ නිසා කෙනෙකුට ආදරයක්, එයත් එක්ක එකට ජීවිතේ ගත කරන්න සැබෑ වුවමනාවක් නැත්නම්, තමන්ගේ ආත්මාර්ථය වෙනුවෙන් විවාහ වෙන එක මෝඩ කමක්...ඒ වගේම ඒ විවාහය අසාර්ථකයි...

    අනිත් එක මානවී, අවුරුදු 40 ක් නෙවෙයි 50 ක් ගියත් ළිදක් ඇතුලෙ ඉන්න කෙනෙක්ට, ලෝකෙ පුරා කරක් ගහපු අවුරුදු 25ක කෙනෙක්ට තරම් අත්දැකීම් ලැබෙන්නෙ නෑ, පරිණත වෙන්නෙත් නෑ, අත්දැකීම් ලැබෙන්නෙ වයස එක්ක නෙවේ, ඒ කෙනා සමාජයට නිරාවරණය වෙන තරමට සහ ඒක අත්දැකීමක් කරගන්න පරිණත බුද්ධියක් ඇති තරමට...

    මුලින්ම වෙඩින් එක ගන්න විදිය ගැන නෙවෙයි තමන් කවුද කියන එක හදාරල බලන්න...තමන්ගේ අවංක වුවමනාව මොකක්ද කියල හොයාගන්න...තමන්ට තව මිනිහෙක් වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ වෙනස් කරන්න වුනොත් එහෙම කරන්න පුලුවන්ද කියල හිතන්න...ස්වාදීන ජීවිතයක් ගත කරන්න හුරු වුනාම ඒ දේවල් ටිකක් අමාරුයි...මොකද එහෙම කෙනා බොහොම ලස්සන තමන් හදා ගත්තු රාමුවක් ඇතුලෙ ජීවත් වෙන්නෙ...යන්නෙ එන්නෙ කන්නෙ බොන්නෙ, අඩන්නෙ හිනාවෙන්නෙ, ඒ සේරම තමන්ගෙ රටාවකට...එහෙම වුනාම තව කෙනෙක් වෙනුවෙන් ඒ රටාවෙන් මිදෙන්න නම්, ඒ කෙනා වෙනුවෙන් සංසාරෙ පතාගෙන ආපු ආදරයක් තියෙන්න ඕනෙ...නැත්නම් ඔය තාවකාලික හැගීමකට බෑ ස්වාධීන වෙච්චි ගෑණියෙක්ගෙ ජීවිතේ බෙදාගන්න...

    අනික් මිනිස්සුන්ගෙ ජීවිත දිහා බලල විවාහයක රහ තීරණය කරන්න බෑ...මොකද මිනිස්සු නිතරම තමන්ට අවාසි කොටස පිටස්තරයෙකුට කියන්නෙ නෑ, තමන්ගෙ වැරදි කියන්නෙත් නෑ, දෙන්නෙක් අතර තියන කතන්දරේ, එක චරිතයක් දිහා විතරක් බලල කවදාවත් තීරණ ගන්න එපා...

    ReplyDelete
    Replies
    1. hats off to u lady. agrees with u to fullest.

      Delete
    2. පොකුරු,

      මේක හරිම ආදරණීය උපදෙස් පිරුණු කොමෙන්ටුවක්. බොහොම ස්තුතියි.

      Delete
    3. Pokuru,

      Excellent comment.......My respects to you!

      Delete
  16. ගොඩක් දෙනෙක් අදහස් දක්වල තියෙන නිසා ප්‍රශ්ණ කිහිපයක් ගැන ලියන්න හිතුණා. මිනිසුන් ඇරුනාම ජීවිත කාලයක් එකට ඉන්න බලාගෙන විවාහ වෙන වෙන සත්ව කොට්ඨාශයක් නැති නිසා එයින් ඔප්පු වන්නේ විවාහය සමාජීය අවශ්‍යතා සඳහා මිනිසා විසින් අටවා ගත් ස්වභාව දහමට අනුකූල නොවන දෙයක් බවයි.

    ගැහැණු - පිරිමි ආකර්ශණයට ප්‍රධානම හේතුව ස්වභාව ධර්මයා විසින් වර්ගයා පවත්වාගෙන යාමට අවශ්‍ය නිසා ඇති වී ඇති දෙයක් බව රසහක් නෙමෙයි. එවන් ආකර්ශණයක් ටික කාලයකදී නැතිවෙනවා. මුලදී කොතරම් ආස වුණත් එකම කෑම වර්ගයක් එක දිගටම කනකොට ඒක එපා වෙනවා වගේ. එවන් අවස්ථාවල විවාහයෙන් පිට වෙනත් අයට ආකර්ශණයන් සහ සම්බන්ධතා ඇතිවීම සමාජය කොපමණ ගැරහුවත්, ස්වභාවික දෙයක්.

    ස්කැන්ඩනේවියානු රටවල විවාහයන් කියන්නේ දුලභ දෙයක් බව අසා තිබෙනවා. එයට ප්‍රධානම හේතුව තනි මව්පිය පවුල්, සහ දෙමපියන් සමඟ ජීවත් නොවන දරුවන් රැකබලා ගැනීමට ආයතන බහුලව තිබීම. එසේ නොවන රටවල් වල දරුවන් නිසාම දෙමව්පියන් සිටීමේ අවශ්‍යතාවය නිසා විවාහය කියන එකට වැදගත් කමක් ලැබීමත් විවාහයකින් අයින් වීම අපහසු වන විවිධ නීති තිබීමත් සිදුවී තිබෙනවා. උදාහරණයකට ලංකාවේ දරුවන් නැති විවාහයක් වුවත් දෙදෙනාගේ කැමැත්තෙන් අවසන් කරන්න බැහැ. ඒ නිසා දෙදෙනාගේම එකඟත්වයෙන් ද්වේශ සහගත අතහැරයාම වැනි හේතුවක් එක් කෙනෙක් අනිකාට දාල තමයි සිය කැමැත්තෙන් වුනත් වෙන්වන්නේ.

    රැකියාවක්, වාහනයක්, නිවසක් වැනි දෙයක් තමන්ට අකමැති නම් අයින්වී හෝ විකුණා දමන්න පුළුවන් වුණත් ඒහා සමාන 'ලබා ගැනීමක්' වන විවාහය එක් කෙනෙකුගේ කැමැත්තෙන් අවසන් කරන්න බැහැ. කලින් කිව්වා වාගේ දෙදෙනාගේම කැමැත්තෙන් වුවත් බොරු කියා අවසන් කල යුතුයි. එවන් සංකීර්ණ දේකට තවමත් මිනිසුන් කැමැත්තෙන්ම ඉදිරිපත් වන්නේ ඇයි? කාන්තාවන් යම් කෙනෙක්ගේ රැකවරණය ලබා ගැනීමට, සමාජයෙන් කොන්වීම මඟ හරවා ගැනීමට වැනි හේතු නිසා වෙන්න පුළුවන්. එතකොට පිරිමින්? ඔවුන්ටත් සමාජ හේතු වෙන්න පුළුවන්. විවාහ නොවුන කෙනෙක් සමලිංගිකයෙක් වැනි ලේබල් කිරීම් ලංකාව වගේ පසුගාමී රටක දුලභ නැහැ. ඒ නිසාද? එහෙම නැත්නම් කෑම ඉවීමට, ගෙදර දොර අස් පස් කරගැනීමට කෙනෙකු අවශ්‍ය නිසාද? එහෙම නැත්නම් 'නිත්‍යානුකූලව' ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමටද?

    දරුවන් ගේ ආර්ථික, මඟපෙන්වීම් සහ ආරක්ෂක අවශ්‍යතා නිසා විවාහයක කියන එක අවශ්‍යතාවක් බව පිළිගත්තත්. තවම ඉපදී නැති කෙනෙකුගේ අවශ්‍යතා නිසා බොහෝ සීමා වීම් බලපාන, ආපසු හැරවීමට ඉතා අපහසු බන්ධනයකට කැමැත්තෙන් ඉදිරිපත් වන්නේ මිනිසුන්ගේ ඇති masochist tendencies නිසාද?

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුවට පිළිතුරු අරහේ දාල තිබුණ දැක්ක. මගේ සත දෙකත් එතනම දැම්ම.

      බොහොම ස්තුතියි ඉයන් තුමා, කමෙන්ටුවට.

      Delete
  17. හම්මේ.. ඔය ප්‍රශ්ණ ඔක්කොටම උත්තරත් අහගන්න අර 35-40 යාලුවෙකුත් නැති අඩුව මකාගන්නත් එක්ක අපේ උන්දැව යාලු කරලා දෙන්නද.. හැක්. පස්නේ තියෙන්නේ උන්දා ඉතීම් මේ දවස්වල ජාල ගතවෙන්නේ එහෙම හෙනම අඩුවෙන්.. විවාහයේ බර අදිනවනේ ළමයි තුන් දෙනෙකුත් එක්ක.. හෙහ්..හෙහ්.. ඉතීම් මොකේදැයි දන් වළඳන්නේ කියුවලු. ප්‍රශ්න භාගෙකට උත්තර එතැනින්ම ලැබිලානේ..

    හරි.. දැන් මොකක්ද ප්‍රශ්නේ.. හැබැටම මොකක්ද ආ?

    මම කසාද බැඳලා ලබන ජනේරුවට අවුරුදු දා හතරක්.. ඒ වගේම ළමයි තුන් දෙනෙක්ද කොහෙදත් ඉන්නවා.. ඒක නිසා (මා)මගේ පෙතිචාරය බර ගන්නවද දුවේ? ඇටෙන් පොත්තෙන් ආපු දවසේ ඉඳල මාත් අවුරුදු විසි හයක් විතර වෙනකං එක එක කෙල්ලන්ට මුකුළු කරලා ලවු කරලා තියෙනවා..හැබැයි අවුරුදු විසි හයේදී මට මගේ බිරිඳ (වෙන්න) මුලින්ම හම්බුනා.. අපි කතා බහ කරලා දැන අඳුනගෙන ටික දවසකින් මට වෙනදා නොදැනිච්ච විශේෂත්වයක්.. නිකම්.. අත අරින්න බැරි හැඟීමක් වගේ දෙයක්.. දැනුන.. ඒ වගේම අපේ ආශ්‍රය බොහොම සතුටක්, සරල බවක්, සැහැල්ලුවක් වගේම ආදරණිය බවකුත් දෙදෙනාටම ගෙනාව.. ඉතිං මම හිතුව මුන්දව 'බඳින්න'.. එහෙම හිතපු දවසට පස්සේ මුලින්ම හම්බුනු වෙලාවේ මම ඒක උන්දැට කියුව.. එයත් එකඟ වෙච්චි නිසා එතන ඉඳල අපි දෙන්නම වැඩ කරේ ඒ වෙනුවෙන්. ඔන්න ඒ වෙලාවේ අපේ ලංකාවේ බැරියර්ස් එක එක එන්න ගත්ත.. උඩරට/පහතරට, ගොවිගම/ කරාව, රස්සාව, දුර, නෑයෝ මිත්‍රයෝ, ගේ දොර ඉඩ කඩම්..ඔය ඔක්කොටම මගේ පැත්තෙන් අපේ අම්මටයි තාත්තටයි මම දුන්නේ එක උත්තරයයි.. 'මම බඳින්නේ ගෑණියෙක් මිසක් ඔය දේවල් එකක්වත් නෙවෙයි- කසාද බැඳලා මට ජිවිත කාලේ පුරාම ගල් ගෙඩියක් ඔලුව උද තියන් ඉන්නවා වගේ ඉන්න බෑ.. නිදහසේ ඉන්න තියෙන්න ඕනි.. එක නිසා කැමතිනම් මට සහයෝගය දෙන්න නැත්නම් කරුණාකරලා මාව නිදහස් කරන්න' කියල.. ඔන්නොහොම ඉතීම් අපි බැන්ද..

    ඊට පස්සේ ජිවිතේ වෙනස් වුනා..ඇත්තටම අපි වෙනස් කර ගත්තා.. ළමයි හැදුව.. රස්සාවල මාරු කරා.. ගෙවල් දොරවල් හැදුව.. ළමයින්ව ලොකු මහත් කරන්න උගන්නන්න තාමත් මහන්සි වෙනවා.. ඒ එක්කම වටේ පිටේ සමාජේ පවුල ඇතුලේ වගකීම් ආව. මුදල් හදල ගැන ගැටළු, නිදහස ගැන සෞඛ්‍ය ගැන, පෞද්ගලිකත්වය ගැන ගැටළු ආව.. ඒවාට පුළු පුළුවන් විදියට මූන දුන්න.. තාමත් දෙනවා. හැබැයි ඒ එකක්වත් අපි කරදරයක් කියල හිතුවේ නෑ.. ඒවා එකක්වත් මහා ලොකු ප්‍රශ්න කර ගත්තෙත් නෑ.. මම ඇත්තටම හිතාගෙන හිටියේ ඒවා මේ ජිවිත කාලේ අපෙන් වෙන්න ඕනි වැඩ කොටසක් සම්පුර්ණ කිරීමක් විදියට.. බිරිඳ විදියට ඇගෙන් මටත් සැමියා විදියට මගෙන් ඈටත් යම් යම් යුතුකම්, වගකීම් හා සේවාවන් කොටසක් සිදුවිය යුතුයි.. ඒවා තවමත් හැකි පමණින් වෙනවා.. අඩු පාඩුත් වෙනවා. හිත් නොහොඳ විමුත් වෙනවා.. ආපහු බත ඉදෙනකොට ගොඩක් ඒවා අමතකයි.. මම කොළඹ හිටියට ඇය ගාල්ලේ ගෙදර හිටියට දවස පුරා 'අපේ' වැඩ කතා කරලා 'අපි' කරගන්නවා. සති අන්තේ මම ගෙදර දුවගෙන යනවා.. ඒ යන්නේ ඔවුන් දකින්න. ඔවුන් බලන් ඉන්නේ මම එනකම්.. ඒ අතරේ ඇගේ සමාජ සේවා වැඩ, පන්සල් සමිති සමාගම් එක්ක ගනුදෙනු, නෑදෑ හිතවතුන් එක්ක ගනුදෙනුත් මගේ ෆේස් බුක්, බ්ලොග්, හා යාලු මිත්‍ර ගනුදෙනුත් එකිනෙකට කරදරයක් නොවෙන මට්ටමෙන්ට් කරගෙන යනවා.. මම හිතාගෙන හිටිය විදියට අපි 'විවාහ' වෙලා සතුටින් ඉන්නවා..

    විවාහ නොවුනා නම් මිට වඩා වෙනස් විදියකට සතුටින් ඉන්නත් තිබුනා.. :)

    ReplyDelete
    Replies
    1. කමි තුමාට බොහොම ස්තුතියි කමෙන්ටුවට. හරිම ආදරෙන් දදීපු උපදෙස් ටිකක් තියනවා එතන. බොහොම ස්තුතියි.

      "නිකම්.. අත අරින්න බැරි හැඟීමක් වගේ දෙයක්.. දැනුන.."

      හ්ම්ම්.. මේක ඇතුලේ තියනවා එහෙනම් මට ඕන උත්තරේ. උඩ පොකුරුත් ඕකම කියල තිබ්බ.

      Delete
  18. When the right person comes to your life, you will just KNOW it. No need to think this hard. If it works, it will .. if not, you know what to do.

    In the meantime, develop lots of self love for you, and enjoy life on your own. That way, you will always experience joy, whether you are alone or with some one.

    Life is an evolving thing and as many Sri Lankan men and women seem to think, life doesn't stop just as you enter into marriage and have two kids. Life is much more than that.

    As an Ano has mentioned earlier, please stop discriminating based on age. Age is just a number.

    ReplyDelete
    Replies
    1. Ano,

      Thank you very much for the comment. I can feel that the comment is written with lots of love, and I really appreciate it.

      I think I did a mistake by writing about age, and I accept that it is inappropriate. I will leave it as it is for the moment, but will be mindful next time.

      Delete
  19. නන්කි බැදලා නෑ කිව්වා නේද....මාත් බැදලා නෑ(කමෙන්ට්කරු කකුලෙන් පොළව හූරයි).... ඉතිම් හාද????

    මේමයි මේමයි නන්කි අත්දැකීම් ඇත්තෝ කමෙන්ට්ස් කරලා තියෙනවනෙ. ඉතිම් මට කියන්න තියෙන්නෙ බැන්දා නොබැන්දා කියලා සීන් එකක් ඕනෙ නෑ මැරෙනකම් පුල් පන් එකේ ඉන්න එකයි වෙන්න ඕනෙ.....
    මොකද ලයිප් එක පුල් මාවලස් කරන තියරිය තමයි ඒක.

    ReplyDelete
  20. ඉස්සර නිතර කියෙව්ව බ්ලොග් එකක්නේ. අන්තිම කාලේ මට බ්ලොග් එහෙම පිටින්ම මග හැරිලා වගේ...
    ඉයන්ගේ කතාවටත් එයිට පස්සෙ තව තව අය ලියපු කතාවලටත් බොහෝ සමාන කතාවක් මටත් කියන්න පුළුවන්.
    කසාද බැඳීම කියන්නේ අනිවාර්‍ය දෙයක් නෙමෙයි. ඔබට ඒක තේරුම් ගන්න අපහසු වෙන්න බෑ. බහුතරයක් ලංකාවේ වෙන්නේ ලෝකෙට පෙන්න පවුල් සංස්ථා රැකීම. වයසට ගියාම ලයිෆ් ඉන්සුවරන්ස් එකක් වෙනුවට ළමයින් හදලා ඉන්සුවරන්ස් එකක් හදාගැනීම. ( සමාවෙන්න එහෙම නොවෙන විවාහ ඕනෙ තරම් තියෙනවා ලංකාවෙත්. ඒත් අපිට බඳින්න කියන බහුතරයක් හයිලයිට් කරන්නේ ඕක. ඒක හින්දා මම දකින්නේ ලංකාවේ මිනිසුන්ගේ ෆියුචර් ඉන්වෙස්ට්මන්ට් එකක් විදියටයි විවාහය.)

    ReplyDelete
    Replies
    1. මම මුලින්ම ලියනකොට ඉයන්ගේ මුල් කොමන්ට් එක විතරයි දැකලා තිබ්බේ.
      ඒකට විතරයි මම කැමතිත්.

      Delete
    2. //ඒත් අපිට බඳින්න කියන බහුතරයක් හයිලයිට් කරන්නේ ඕක//

      ඔව් අනේ. ඒක නම් ඇත්ත.

      මම එච්චර බබාලට ආස කෙනෙක් නෙවෙයි, ඉතින් බබාල ගැන කියද්දි මම ගොඩක් වෙලාවට "බැඳලා හිටියත් බබාලා හදන්න නම් අදහසක් නෑ" කියල කියනව. එතකොට කියනවා "ඒ උනාට අනේ, ඔයාට වයසට ගියාට පස්සෙ බබෙකුට ආස හිතුනොත් එහෙම මොකෝ කරන්නෙ?" කියල.

      Delete
  21. ඇයි ගෑණුන්ට මෙහෙම වෙන්නෙ?

    මිසී මාර කතාවක්නේ කියන්නේ.
    අයි මක්කද වෙලා තියෙන්නේ .. ඔය යස අගේට ඉන්නේ!!

    OK, OK.. මිසීගෙ ජිවිතේ මිසීට ඕනේ විධියට තියෙන්ඩ ඕනේ!. හරිනේ, එහෙම තමා වෙන්ඩ ඕනෙත්. නැද්ද මං කියන්නේ.මිසී වගේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි ජිවත් වෙන්ඩ ඇහැක් අයගේ ඔය නහරේ ලොකුයි.
    හැබැයි නෝනේ හවුල් වියාපාරේ පටන් ගත්තම නං පොඩි පොඩි give and take ටයිප් එකේ ඇජස්මන් දාන්ඩ වෙනවා. වැඩිය ඇඟට ගන්ඩ එපා. take it easy, go slow!

    කෝකටත්, රේඩාර් එක ඕෆ් කරන්ඩ එපා, දිගටම ඔන් එකේම තියාගෙන ඉන්ඩ.
    හිටි ගමං 'ඉන් පේස් සික්නල්' අහුවෙනවා. හැමදාම නෑ හැමතැනම නෑ, හරිය. ආන්න එතකොට ෆයින් ටියුනින් පාරක් දාන්ඩ.
    පස්සෙන් පහු ඔව්වත්, ඈ .. චැනල් මාරුවෙන, අවුට් ඔෆ් පේස් යන වෙලාවල් තියෙනවා. ගා..නං ගන්ඩ එපා, එතකොට බලමු මොකක්ද හොඳම ඔප්ෂන් එක කියල.
    දැන් මිසී AL කොරන කාලේ හිතුවද ජපං ගිහිල්ල රැජිනිගේ රටෙත් ඉගෙනගෙන ට්‍රම්ප් දේසේ පදින්චිවෙනවා කියල. නෑ ..නේ.

    take it easy.

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. හැට්ටර් තුමාට ජයවේවා!

      (කෝමද ඒක? "සල්මන් කාන්ට ජයවේවා!" එක්ක එක තාලෙන් යන ගතියක් තියනවා නේද)

      මම මේක කලින් කොමෙන්ටුවෙත් කියන්න හිටියෙ. මට මීට කලින් මිසී කියල කතා කරල තියෙන්නෙ එකම එක්කෙනයි. මම ට්‍රේනින් හිටපු සයිට් එකේ හිටපු කෙනෙක්. ඔහුගේ ජීවිත කතාව ඔහු මට කෙටියෙන් වගේ කිවුව, හරිම උපේක්ෂා සහගත ජීවිතයක්, අවබෝධයෙන් ගෙවන, ෆන් එකේ ඉන්න, හරිම සරල කෙනෙක්. ඔහු මට හරිම ලෙන්ගතුයි. ඔබ මිසී කියල කමෙන්ට් කරද්දි, ඔහුගේ ලෙන්ගතුකම මට දැනෙනව.

      :')

      ඒ ඇරෙන්න, ඔබ කියපු උපදෙස් ටිකක් ඒ වගේම තමයි. සරලයි, ෆන් වගේ හිතුණට, ගැඹුරක් තියනව. ස්තුතියි.

      Delete
    2. ආ තව එකක්. මම ට්‍රම්ප් දේසේ නොවෙයි ඉන්නෙ. රැජිනිගේ රටේ. ට්‍රාන්සිට් එකකට වත් ට්‍රම්ප් දේසෙට පය තබා නෑ.

      Delete
    3. බඳින වයසේ ඉන්න බැඳපු නැති අය හිතන් ඉන්නේ ලෝකේ ඔක්කොම එයා බඳින්නේ නැති එක ගැන දුක් වෙවී එයාට බඳින්න අය හොයනවා කියල. නමුත් ඇත්තටම වෙන්නේ බැඳපු උන් බැදපු නැති එක්කෙනාව පොඩ්ඩක් බයිට් කරලා ආතල් එකක් ගන්න එක. ඇත්තටම ඕක ගැන කරදර වෙන්නේ අම්මා තාත්තා විතරයි.
      බඳින්න අකමැති අය බලෙන් බඳින්න ගිහින් තව මනුස්සයෙක් අමාරුවේ දාන එක තමයි කරන්නේ.

      Delete
  22. Ajith Dharmakeerthi's comment on my post.

    ඉයන් ගේ කතාවේ බොහොමයක් තැන් වලට එකඟ නැහැ. දැන් ඔය හැමදාම එකම බුරියානි එක එපාවෙනවා වගේ කතා තේරුමක් නැහැ. කසාද බඳින්නේ එක කරුණකට දෙකක ට විතරක් නෙමේ. මම බඳින්න කලින් ගැහැණු ළමයි කිහිප දෙනෙක් ආශ්‍රය කලා. දෙදෙනක් එක්ක ලිවින් ටුගෙදර් හිටියා . මගේ බිරිඳ මට හම්බවෙන්නේ ඊටත් පස්සේ. මම මුලින් ලිවින් ටුගෙදර් හිටිය ලේඩි ඊයේ පෙරේදා ලින්ක්ඩ් ඉන් එකේ සෙට් වෙලා කතා කලා . තරහක් නැහැ. අවුලක් නැහැ. එයා හොඳින් ඉන්නව. මගේ බිරිඳ ඔය පරණ සම්බන්ධකම් ඔක්කොමත් දන්නවා.

    සෙක්ස් වලට විතරක් බැන්දොත් , නැත්නම් සල්ලි වලට , නැත්නම් උගත් කමට විතරක් වගේ හේතු නිසා පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් දරුවෝ ඉන්නවනම් අඩුම ගානේ ඒ ගොල්ලෝ ලොකු වෙනකන් ඉඳල දික්කසාද වෙන්න.
    මගේ බිරින්ඩ් අමුලින් මගේ යහළුවෙක් විතරයි යුනියේ. නමුත් අපි දෙන්නම් පොත් කියවනවා. අද වුනත් තරහක් ගියොත් එයා පත්තකට් වෙලා පොතක් ගනී. මමත් එහෙමයි. අපි දෙන්නට වෙන වෙනම හොබිස් තියනවා. දෙන්නම් එකම දේ කරන්න ඕනේ කියල නියමයක් නැහැනේ. අපේ ජිවිත නිදහස්. එනිසා විවාහය කියන එක ඔය කියන තරමේ භයානක අමාරු දේකුත් නෙමෙයි.
    මානවිකාව එංගලන්තේ ඉන්නවයි කියා දැනගත් නිසා කැමැති නම් එන්න අපේ ගෙවල් පැත්තේ දෙන්න එක්කම් කතා කරන්න. අපේ වලි ප්‍රශ්න ඕන තරම් තියනවා. නමුත් කොහොම හරි ගැට ගහ ගන්නවා. ආතල් එක තියෙන්නේ එතන.

    ReplyDelete
  23. මං මේ පෝස්ට් එක කියෙව්වේ ඉයන්ගේ අඩවියෙන් ඇවිත්.. මං පිලිතුරු ලිව්වේ නැත්තේ කම්මැලි නිසා, මොකද අනිවාර්යයෙන් මගේ පිලිතුර දිග වෙනවා...

    මං මානවිගේ හුඟක් තැන් වලට කැමති නැහැ... නමුත් මුලින්ම දෙයක් කියන්න අවශ්‍යයි. මොකද කවුරු, කොහොම ජීවිතය ප්ලෑන් කලත්,විවාහය කියන දේ දෛවය අනුව සිදුවන දෙයක්.. ඒකට වාසනාව තියෙන්න ඕනා.ඒ වගේම කැපකිරීම් කරන්න ඕනා..

    මේ බ්ලොග් ලෝකයේ ඉන්න හුඟක් අය පරිණත වගේම යුරෝපා සංස්කෘතියට අනුගත වුන අය..  විවාහ වුනත්, ලිවින් ටුගෙදර් හිටියත් , විවාහ වෙලා වෙනම ජීවත් වුනත්,නැත්තම් දික්කසාද වෙලා හිටියත් ඒ අයට අදාල වෙන්නෙ නැහැ. නමුත් ඒ ගැන අදාල වෙන්නෙ තමන්ගේ පවුලේ අයට, ජීවත් වෙන පරිසරයට, ඊටත් වඩා තමන්ට...

    තමන් මොනවා කලත් අනුන්ගේ කියමන් අදහස් වැදගත් නැත්තම් තමන්ට ජීවිතය සතුටින් ගෙවන්න පුලුවන්. ලෝකය ඉන්නේ දහසක් දේ කියන්න... හරියට අර කොටලුවා, තාත්තා, සහ පුතාගේ කතාව වගේ.. ඔබ මැරි නොකලොත් ලෝකයා කියාවි මැරි කරන්න කියලා.. මැරි කරලා සාර්ථකව ජීවත් නොවුනොත් ලෝකයා කියයි, අපරාදේ විවාහ නොවී හිටියා නම් හොඳයි, නැත්තම් දික්කසාද වෙන්න කියලා.. දික්කසාද වුනොත් කියයි විවාහය ලිහිච්ච ගැනි කියලා... ඔය ඔක්කොම කියන්නෙ ලෝකයා.. ඒත් තමන් කරන්න ඕනා තමන් සතුටින් තියන දේ..


    ඔයාගේ අදහස ගමු.. මුලින්ම කියන්න තියෙන්නෙ ඔබ තවම විවාහයකට මානසිකව ලැහැස්ති නෑ කියලා..ඒ වගේම ඔබට විවාහ වෙන්න බයයි. ඊලඟ දේ විවාහ වෙන්න ඕන වුනත් තමාට වෙනස් වෙන්න බැරි ගතියක් තියනවා කියලා..

    මං පොකුරු වැහිගේ කමෙන්ට් එකට කැමති. ඇයගේ කොමෙන්ටුව හරි ලස්සනයි. විවාහය කියන දේ ලස්සනට කියලා තිබුනා..
    ඇත්තටම විවාහයෙන් බොහෝදුරට ගැහැනිය සතුටු වෙන්න වෙන්නේ තමා කරන කැපවීම් වලට, අපිට සතුටු වෙන්න තැන් හොයාගන්න වෙනවා.. මං අද රසට උයනවා. විශේෂ කෑමක් හදනවා.. අද එයාට තරහා ගිහින් ඒකයි බනින්නේ.. පොඩ්ඩක් ඉවසන් ඉන්න වෙනවා.. එයා කැමති විදියට හැඩ ගැහෙන්න වෙනවා.. එතකොට එයා සතුටු වෙයි.. මේ විදියට හිතන්න වෙනවා... කොටින්ම දැන් අපි දකින නෙගටිව් දේවල් වල පොසිටිව් පැත්ත හිතලා සතුටු වෙන්න පුරුදු වෙන්න වෙනවා.. ඔයා අකමැති නම් චිකන් කන්නවත්, එයා කැමති නම් චිකන් උයන්න පුරුදු වෙන්න වෙනවා.. උයනවා නම් රස බලන්නත් පුරුදු වෙන්න වෙනවා.. අන්තිමට මට කියන්න තියෙන්නෙ ගැහැනිය විශේෂයෙන්ම පිරිමිය වෙනුවෙන් කැපවීම් කරන්න වෙනවා කියලා...
    දැන් ඒ පැත්ත එහෙම වෙනවා නම් අනික් පැත්තේනුත් වගකීමක් වගේම යුතුකමක් වෙනවා කැපවීම් කිරීම.. පොඩි පොඩි දේවල් වුනත්...
    මට මතක් වෙන්නෙ ඉෂිතයි රමනුයි.. හැමදාම නැතත් මං හිටපු ගමන් ඒ කතාව බලනවා..ඒකේ හොඳට දෙදෙනට දෙන්නා කැපවෙනවා පෙන්නවා කියලා මට හිතෙනවා..

    කොහොම නමුත් සමහර මිනිස්සු ඉන්නවා මානසික වශයෙන් දුර්වල අය. එයාල තමන්ගැන විතරයි හිතන්නේ.. පවුලක් ඉන්නවද කියලා හිතන් නෑ. තමට දරුවො ඉන්නවා බිරිඳක් ඉන්නවා කියලා හිතන්නෑ.. එතකොට විවාහ ජීවිතය තරමක් අවුල් වෙනවා.. කොහොම නමුත් ප්‍රශ්න විසඳ ගන්න පුලුවන් උගත් මිනිස්සු එක්ක. නමුත් මොනවා වුනත් තමාගේ දෛවය අන්තිමට ඒ දේ තීරණය කරනවා...

    මොකද විවාහය කියන්නේ සංකීර්ණය බැඳීමක්.. ඒකට අනුගත වෙනවා කියන්නේ ඒක ජීවිතයේ සිදුවන ලොකු පෙරලියක්.
    කොහොම නමුත් මට හිතෙනවා තමන් හොඳම යාලුවෙක් ඇසුරු කරලා අන්න එයා එක්ක විවාහ වෙනවා නම් පහසුයි කියලා. මොකද මුලින් ආදරය කරන්න ගත්තොත් දෙදෙනාම හඳුන ගන්න බැරි වෙනවා.. නමුත් යාලුවෝ දන්නවා තමන්ගේ අඩුපාඩු, තමන්ගේ හොඳ නරක හැමදේම. හොඳ යාලුවෙක් වෙන්න පුලුවන් නම් විවාහ ජිවිතයේ දි සාර්ථක වෙන්න පුලුවන් වෙයි..

    තව දෙයක් කියන්න තියනවා. වර්තමානයේ පිරිමියා වගේම ගැහැනිය මුදල් උපයනවා නම්, දැන් දැන් පිරිමිත් ගෙදර වැඩට හවුල් වෙන්න වෙනවා.. ඉස්සර ඒ ප්‍රශ්න නැහැ.. පිරිමියා පමණයි මුදල් ඉපයුවේ.. නමුත් දැන් එහෙම නැහැ.. සමාන ශක්තින් දෙදෙනම වැය කරන්න අවශ්‍යයි..


    අවසාන වශයෙන් මන් මේ මොනවා කිව්වත් කිව්වේ හිතන දේ.. නැතුව මට විවාහය ගැන කිසිම අත්දැකීමක් නැහැ...
    මොකද මං තාම පොඩි ළමයෙක් නිසා.. හික්ස්...

    ReplyDelete
  24. මගේ කමෙන්ට් එක ඩිලෙට් කරාද???

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක දැක්කට පස්සෙ මම ස්පෑම් ෆෝල්ඩර් එක බැලුව. ඔබේ කමෙන්ට් එක එහි තිබී හමුවුණු නිසා, මෙහි ගෙනැත් ඇලෙව්ව.
      සමාවෙන්ට ඕන හිත රිදුනා නම්.

      Delete
  25. Please watch Gone Girl (2014) movie.

    ReplyDelete