April 16, 2017

ජපන් කතා - කසල බැහැරකිරීම

මේ දවස් වල කුණු කතා ගොඩක් ඇදෙන නිසා, ජපානයේ කැලිකසල කළමනාකරණය පිලිබඳ මගේ අත්දැකීම් ටිකක් ලියා තබන්නට හිතුව.

ජපානයේ කැලි කසල ඇතුළු බොහෝ දේ පාලනය සිදුවන්නේ දිස්ත්‍රික් (prefecture) ආණ්ඩුව මගින්. නමුත් කැලි කසල බැහැර කිරීමේ ක්‍රමවේදය නම්, එකම දිස්ත්‍රික්කයේ තියෙන නගර සභා අතරත්, ඇතැම් විට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මම මේ ලියන දේ මුළු ජපානයටම අදාළ නොවෙන්න පුළුවන්. මම මේ ලියන්නේ මගේ දිස්ත්‍රික්කයේ, මගේ නගරයේ, අපි කසල බැහැර කරන  හැටි.

ජපානයේ නීතිය අනුව, අපි මුලින්ම ගෙදරක පදිංචි උනාම, ඒ ගෙදර අයිති නගර සභාවට ගිහින් අපේ නව පදිංචිය දැනුම් දෙන්න ඕන. එතකොට, ඔවුන් අපේ හැඳුනුම් පත ඉල්ලාගෙන, පොඩි paper work එකකින් පස්සේ අපේ හැඳුනුම් පතේ පසු පිටේ, අපේ නව ලිපිනය මුද්‍රණය කරලා, නැවත අපට ලබා දෙනවා. පිටරටක ඉඳන් / වෙන නගරයක ඉඳන් ඇවිත් අලුත් නගරයක පදිංචි වෙනවා නම් හෝ, එකම නගරයක් තුල පදිංචිය මාරු කරනවා නම් හෝ, මේ කටයුත්ත අනිවාර්ය කරුණක් නිසා, ඕනෑම කෙනෙක් අලුත් ගෙදරට ඇවිත් මුල් සති දෙක ඇතුලත, අනිවාර්යෙන් ම නගර සභාවට යැවෙනවා. ඒ ගියාම, අපට මෙන්න මේ සටහනත් ඔවුන් ඒ ගමන්ම ලබා දුන්නා.






ඔතනින්, එදිනෙදා උයල ඉවර වෙන දේවල්, කිළුටු පෙඟුණු කඩදාසි දවටන, වගේ නිතර එකතු වෙන combustible කුණු, සතියට දෙපාරක් එකතු කරන් යනවා. දිරාපත් වෙන, ආහාර ද්‍රව්‍ය සහිත මේ කුණු, ගොඩක් දවස් තියන් හිටියොත් ගෙදර ගඳ ගහන නිසා වෙන්න ඇති. රෝස පාටින් දක්වලා තියෙන්නේ මේ ගොණුව තමයි.

ප්ලාස්ටික් හා පොලිතීන් අඩංගු වෙන, කහ පාට ගොණුවට දැමිය හැකි ප්ලාස්ටික් වර්ග, පහසුවෙන් අඳුනගන්න උදව් වෙන්න, සියලු ප්ලාස්ටික් බෝතල් වල (PET නොවන) හා ප්ලාස්ටික් දවටන වල, නිෂ්පාදකයින් විසින්ම යොදන යම්කිසි සලකුණක් තිබෙනවා. ඒ සලකුණ තමයි ඔය කහ පාට කොටුව ඇතුලේ දක්වලා තියෙන්නේ. ඒ නිසාම, බීම බෝතලයක, චිප්ස් පැකට් එකක, ඕනෑම එකක, ඒ බීම/චිප්ස් නිෂ්පාදකයා විසින්ම, ඒ සලකුණ මුද්‍රණය කරලා තිබෙනවා. එතකොට අපි ඒ සලකුණ තියන බෝතලය හෝ දවටනය, හෝදලා, පිරිසිදු කරලා, කහ පාට බෑග් එකේ දාන්න ඕනේ. මේ කහ පාට බෑග් එක, සතියකට වරක්, එකතු කරන් යනවා.

පිරිසිදු කඩදාසි, සෝදා වේලපු කිරි පැකට්, කාඩ්බෝඩ්, වගේ දේවල්, නැවත කඩදාසි නිපදවන්නම භාවිතා කරන නිසා, සති දෙකකට වරක් ඒවා එකතු කරගෙන යනවා. මේ කඩදාසි, වේලලා, මිටියක් විදියට එකතු කරලා, කඩදාසි ටේප් එකකින්ම බැඳලා දුන්නම හරි.

මේ රෝස පාට, කහ පාට කසල බෑග් හා අනිත් සියලුම දේවල් දමන්නට, නිවාස කිහිපයකට පොදුවේ, දැල් වලින් හදපු පෙට්ටි සවි කරලා තියෙනවා. කසල එකතු කරන ලොරිය, මේ දැල් පෙට්ටිය ලඟට ඇවිත් තමයි කසල ටික අරන් යන්නේ. ඔවුන් එන්නේ උදේ 8.30 න් පසු නිසා, ඊට කලින් කුණු ටික මේ පෙට්ටියට දාල තියන්න ඕන.

මේ එක එක කසල වර්ග එකතු කරන්නේ, එක එක දවස් වල නිසා, එකතු කරන තොරතුරු ඇතුලත් කැලැන්ඩරයකුත්, අපට අර ඉහත සඳහන් කඩදාසියත් එකක්ම ලැබෙනවා, මේ වගේ. 




ඒ දවසට අදාළ නැති වෙනත් කසල වර්ගයක් පෙට්ටියේ තිබුනොත්, කසල එකතු කරන අය ඒ කසල ටික ඉතිරි කරලා අනිත් ටික අරන් යනවා. එක දවසක් මම, මැයි 31 වගේ දවසක්, මැයි 17 වගේ දවසක් එක්ක පටලවාගෙන, කඩදාසි වගයක් පෙට්ටියට දාලා තිබිලා, ඒ ටික ඉතුරු කරලා ගිහින් තිබුණා. නමුත් අපේ අහල පහල ඉන්න අයට නම් එහෙම අත්වැරදීම් වෙන්නේ නැති තරම්. එදා මම ඒ කඩදාසි ටික ආපහු අරන් ඇවිත්, ඊළඟ සතියේ යළිත් බාර දුන්නා.

ඊළඟට, ඔය කසල බහා දෙන බෑග්, අපි විසින්ම මිලදී ගන්න ඕන. සුපර් මාකට් වල, ෆාමසි වල, ඕනෑම තැනකින් පහසුවෙන් මේ බෑග් මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම ජපානයේ ජීවන වියදම හා සසඳද්දී, මේ බෑග් වල මිල ඉතා අඩුයි. නමුත් ඉතින් තමන් විසින් නිෂ්පාදනය කරනා කුණු ප්‍රමාණය අඩුයි නම්, මේ බෑග් මිලදී ගැනීමට වැය වෙන මුදලුත්, කාලයත්, (ඉතා සුළු වශයෙන් හෝ) ඉතිරි කරගන්නට පුළුවන්.

ඊළඟට අප ජලය ගැන කෙටියෙන් කිව්වොත්, අපේ ජල බිල්පතේ, කොටස් දෙකක් තිබෙනවා. එක කොටසක් තමයි අපි විසින් පරිභෝජනය කරන පිරිසිදු ජලය අපට සැපයීම සඳහා අය කරන මුදල. අනික් කොටස තමයි අප විසින් බැහැර කරපු අපවිත්‍ර ජලය නැවත පිරිපහදුව සඳහා අය කරන මුදල. මේ දෙකේම එකතුව තමයි මාසික ජල ගාස්තුව ලෙස අපට ගෙවන්නට ලැබෙන්නේ.

ගොඩක් වෙලාවට අලුතින් ගෙදරක පදිංචි උනාම, අවශ්‍ය කරන සියලුම ගෘහභාණ්ඩ හා උපකරණ, re-cycle කඩේකින් මිලදී ගන්නා නිසා හා, තමන් තවදුරටත් පාවිච්චි නොකරන දේ re-cycle කඩේකට හෝ අඳුරන කෙනෙකුට නිකම් ම දෙන පුරුද්ද නිසා, නැවත භාවිත කළ හැකි දේ කසල ලෙස එකතු වීම අඩු වෙලා තියෙනව. අපි වගේ දුප්පත් විශ්ව විද්‍යාල සිසුන්නම්, පුරුද්දක් විදියට, තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙලා සියරට බලා යනකොට, තමන් භාවිත කරපු සියලුම දේවල් අවශ්‍ය අයට බෙදා දීම කරනවා.

කැලි කසල කියන්නේ ඕනෑම රටකට, සමාජයකට ප්‍රශ්නයක් තමයි. මම මේ තොරතුරු ලිවුවේ මෙහෙ නම් මෙහෙමයි කියලා නයෙක් අරින්නට නොවේ, කැලි කසල නිසි පරිදි කළමනාකරණය කරන්නට නම් නගරයේ ජනතාවගේත්, පාලනයේත් සමාන ලෙස වෙහෙස වීම හා සහයෝගය අවශ්‍ය බව කියන්නට පමණයි. පිරිසිදු පරිසරයක් වෙනුවෙන් ගෙවන්නට වෙන opportunity cost එක විදියට, අපි හැමෝටම ටිකක් මහන්සි වෙන්නට සිදු වෙනව. මේ කියපු ක්‍රමවේදය උනත්, කොයි තරම් දුරකට තිරසාරද, පරිසරයට හිතකරද, කියා කියන්නට මම හරියටම දන්නේ නැහැ.

කොහොම උනත්, සිදු වූ දේ ගැනත්, ඒ ඔස්සේ වෙන වෙන දේශපාලන හා පෞද්ගලික කෝන්තර පිරිමසා ගන්නට අපේ අය උත්සාහ කිරීම ගැනත්, ගොඩක් කණගාටුයි. "අපි හිටියානම් මෙහෙම වෙන්නේ නෑ" , "අපි මේකට විසඳුමක් යෝජනා කරලා ක්‍රියාත්මක කරන්නට තමයි හිටියේ" සහ "මේ ඔක්කොම පාලකයන්ගේ වැරදි, අපිට නම් කරන්නට දෙයක් නෑ" කියන සිහියෙන් මිදිලා, මේ කරදරය සිදු වුනේ තමන්ටයි කියල හිතාගෙන දැන්වත් හැමෝම අවදි වේවි යැයි ප්‍රර්ථනා කරමු.












8 comments:

  1. ඉතාම කාලීන ලිපියක්. එකක් ලංකාවේ කුණු කන්ද නායයෑමට සමපාත වීම. අනික මම මේ දවස්වල උගන්වන Landfill පාඩමට අදාල වීම.

    ජපන් ක්‍රමය හුඟක් දියුණු රටවල තියෙන ක්‍රම වලටත් වඩා පරිභෝජකයාගෙනුත් සෑහෙන දෙයක් බලාපොරොත්තුවෙන ක්‍රමයක්. අර දවටන සෝදලා පිරිසිදු කරලා දෙන එක වගේ දේවල්.

    මම මේ පින්තූර ඩවුන්ලෝඩ් කරගන්නවා පන්තියෙදි පෙන්නන්න.

    එක ප්‍රශ්ණයක්. මේ උපදෙස් ඉංග්‍රීසියෙන් මුද්‍රණය කරලාතියෙන්නෙ විදේශිකයන් සඳහාද. එතකොට ඊට අමතරව තවත් විදේශ භාෂාවලින් පිටපත් එයාලා ගාවා තියෙනවද?

    බොහොම ස්තුතියි මානවිකා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩුඩ්. ඔබේ පාඩමට මේ ලිපිය උදව් කරගැනීම මට ලොකු සතුටක්.
      ජපන් ජාතිකයන්ගේ විනය නිසා තමයි ඒ විදියට කසල තමන් විසින්ම වෙන් කරලා දෙන්න සතුටින් ඉදිරිපත් වෙන්නට ඇත්තේ. ජර්මනියේ ඉඳපු යාලුවෙක් කියපු දෙයක් තමයි එහේ හරියට කසල බැහැර නොකලොත් දඩ ගහන නිසා මිනිස්සු කැමැත්තෙන් කසල බෙදලා වෙන් කරන බව.

      මම දන්නා තරමින් ජපන් හා ඉංග්‍රීසි භාෂා වලින් විතරයි මේක තියෙන්නේ. මේ ගැන තවත් තොරතුරු හොයලා ලිපියක් ලියන්න ඇත්නම් හොඳයි, නමුත් ගොඩක් මේ ගැන අනිත් තොරතුරු තියෙන්නේ ජපන් භාෂාවෙන් නිසා, ටිකක් අමාරුයි :)

      Delete
    2. තව එකක් අමතක උනා. ඉංග්‍රීසියෙන් මුද්‍රණය කරලා තියෙන්නේ විදේශික අයට තමයි. අපටත් මුලින්ම සිටි හෝල් එකෙන් දුන්නේ ජපන් වලින් තියෙන එකක්. පස්සේ තමයි ඉංග්‍රීසි එකක් හම්බුණේ.

      අපේ සිටි හෝල් එකේ බ්‍රහස්පතින්දා දවසේ ඉන්නවා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නිලධාරියෙක්. විදේශිකයන්ට එදාට යන එක තමයි පහසු.

      Delete
  2. a note to remember!!!
    Thanks a lot for sharing these info with us .. Here in sri lanka the main issue is unnecessary interference of politicians. Even-though they dont know the subject they dont let to work to those who are experts of the particular subject area.
    P.S- Sorry I dont have sinhala font in my laptop yet.. just reinstalled the OS

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබේ කොමෙන්ටුවට. ආදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට.
      ඇත්තටම පාලකයා මත වෙනස් නොවෙන ස්ථිර ප්‍රතිපත්ති නැති කම නිසා අපි කවදා වෙනකම් විඳවාවිද කියන්න දන්නේ නැහැ.

      Delete
  3. //කැලි කසල නිසි පරිදි කළමනාකරණය කරන්නට නම් නගරයේ ජනතාවගේත්, පාලනයේත් සමාන ලෙස වෙහෙස වීම හා සහයෝගය අවශ්‍ය බව කියන්නට පමණයි.//
    එක ඇත්ත.තවත් කෙනෙක්ට ඇගිල්ල දික් කරනවා වෙනුවට අපි අපේ කොටස හරියට කරනවා නම් ගොඩක් ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා.මේ ප්‍රශ්නයට අපිත් අඩු වැඩි වශයෙන් වග කියන්න ඕනේ.මට තේරෙන්නේ නැත්තේ ජපානය වගේ රටවල කසල කළමනාකරණය තුලින් ඇයි අපි පාඩම් ඉගෙන ගන්නේ නැත්තේ කියන එක.පාඩම ඉගෙන නොගත්තාට පාඩම ඉගෙන ගන්න කියලා නම් යන රට සවාරි වල අඩුවක් නැහැ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ලංකාවේ මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරි ගැටළු කීපයක් ම තිබෙනවා.
      මිනිස්සු කුණු පිරිසිදුව වෙන් කරලා දෙන්න කැමති නෑ.
      මිනිස්සු කුණු ගෙනියන්න එන දවසටයි නැති දවසටයි ඔහේ කුණු පාරේ දානවා. අන්තිමට කුණු බල්ලෝ, කාක්කෝ අදිනවා වැඩි.
      පොලිතින්/ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සඳහා, දහනය සඳහා, PET ප්‍රතිචක්‍රීකරණය සඳහා වෙනම සමාගම් හෝ යන්ත්‍රාගාර ඉදි කරන්න ඕනේ. අපේ ඒවා කරන්න සල්ලි කොහෙන්ද, මැති ඇමතිවරුන්ට වාහන ගත්තම..

      ඇත්තටම ලංකාවේ වැස්ස වැඩි නිසා, අපේ රට මඩ වෙනවා/ අපිරිසිදු වෙනවා වැඩි. වැඩිය වහින්නේ නැති මෙහෙත් කියල තියෙන්නේ වහින දවසට කඩදාසි එළියේ දාන්න එපා කියල. එතකොට ඊළඟ සති දෙක වෙනකම්ම කඩදාසි තියන් ඉන්න ඕන. අපේ වගේ වැස්ස වහින රටක, මේ කළමනාකරණ කටයුතු ඊටත් වඩා හොඳින් කරන්න ඕන. මිනිස්සු ඒ සමානවම ඒවාට සහය වෙන්නත් ඕන. ඕක වෙයි කියල හිතන්න හරිම අමාරුයි නේ.

      මේ නාය යාම වෙන්න බොහෝ කලින් ජපන් හා තව රටවල් කීපයකම අය ඇවිත් කුණු කන්ද බලල ගියා කියල මම දැක්කා මේ දවස් වල ෆේස්බුක් එකේ දාල තියනවා. නමුත් මොන මොන හේතු නිසාද මන්ද, මුකුත් ක්‍රියාත්මක වෙලා නෑ.

      Delete
  4. ලංකාව කවදා හරි දියුණු වෙයි කියලා මම බලාගෙන හිටපු කාලයක් තිබුණා. දැන් නම් හිතෙන්නේ මේ රට මකලවත් හදන්න බැරි වෙයි කියලා.

    ReplyDelete