January 15, 2014

පැංච


ඉර බැහැගෙන යනව. මුළු අහසම රතු පාටට, සිරියාවයි. හෙමින් හෙමින් කළුවර වැටෙනව. ඉර බැහැගෙන කළුවර එන එක ගැන කාටවත් වගක් වත් නැහැ, කඩි ගුලක් ඇවිස්සුව වගේ හැමෝම එහෙට මෙහෙට දුවනව. තැනින් තැන ෆ්ලෑෂ් ලයිට් පත්තු වෙන්න පටන් ගන්නව, අද බීම් කොන්ක්‍රීට් එකක්. හැමෝම ඒකට ලැහැස්ති වෙනව.

පැංච, එක දවසක් උදේ ආගන්තුක මුහුණක් දැකල මගේ හිත සසල වෙන්න හේතුව වෙච්ච පැංච, කෙට්ටුම කෙට්ටු කොල්ලෙක් විදියට මුලින්ම මගෙ හිතේ ඇඳුණ පැංච, නම ඇහුවම "මිස් මෙයාට හැමෝම කියන්නෙ 'පැංච' කියල" කියමින් මට බාසුන්නැහේල විසින් අඳුන්වල දෙනු ලැබුණු පැංච, දැඩිව ගංජා භාවිතය නිසා විනාශ වෙන්න හදපු ජීවිතය යහමගට හරවගෙන දෑතේ වීර්යයෙන් ලොව දිනන්න මඩකලපුවේ සයිට් එකට ආපු පැංච, ප්‍රමාණයෙන් පුංචි නිසාම අහු මුළු වල රිංගල කරන වැඩ වලදී නැතුවම බැරි වුණු පැංච, සයිට් එකේම බාසුන්නැහේ කෙනෙක් ගෙ නංගී ව සතියකට කලින් ගිහින් කරකාරෙට අරගෙන ආයෙම ඉක්මනට මඩකලපු ආපු පැංච, ඔවු පැංචත් හරි හරියට ලැහැස්ති උනා කොන්ක්‍රීට් එකට.



හෙමි හෙමිහිට රෑ උණා. කළුවර පරදමින් හැමෝම වැඩෙහි යෙදෙමින් හිටියා. මාරුවෙන් මාරුවට කාර්ය මණ්ඩලය කෑමට ගියා. මමත් හෙමි හෙමින් කෑම පිළියෙල කරපු ගෙදරට ඇදුණා. 

කාලා ආපහු සයිට් එකට එනකොට, අමුතුම මූසල නිහැඬියාවක් සයිට් එක වෙලාගෙන. ඒ මූසල නිහැඬියාව බිඳෙන්න "ටොක් ටොක්" සද්දයක් ඇහුණා. සුපවයිසර් අයියා කෑගහනවා, එතනම බිම පහත් වෙලා කිහිප දෙනෙක් මොනවද හොයනවා. මේ කිසිම සද්දෙකින් මකන්න බැරි අමුතුම මූසල නිහැඬියාව මැදින්, මම මගේ මිතුරිය වෙතට ළඟා උණා.

"පැංචගෙ ඇඟිල්ලක් ගියා"

"මොනවා?"

මට කට උත්තර නැතුව ටික වෙලාවක් ගත උණා.

"ඉක්මනට ඕක අරන් යනවා"

සුපවයිසර් අයියා කෑගැහුවා, ඉක්මනින් මොකක්දෝ පුංචි දෙයක් අතේ ගුලි කරන් දුවගෙන ආපු පොඩි බාසුන්නැහේ කෙනෙක් කොන්ක්‍රීට් ප්ලාන්ට් එක පැත්තට දිවුවා. අතේ ගුලි කරන් ආපු පුංචි වස්තුව, කොන්ක්‍රීට් වල උෂ්ණත්වය පාලනය කරන්න ගෙනාපු අයිස් වලින් ආවරණය කරගෙන විදුලි වේගෙන් හැරුණු ඔහු, අසල නවත්වා තිබුණු කැබ් එකට නැග්ගා. විදුලි වේගයෙන් පණ ගැන්වුණු කැබ් එක,  දූවිලි අවුස්සාගෙන නොපෙනී ගියා.....

මම කෑමට ගිහිපු අතරේ, හරියට සවි වී නැති ෆොර්ම් වර්ක් එකක විවරයක් අතරින් කොන්ක්‍රීට් කාන්දු වෙන්න පටන් ගත් බවත්, ඒ නිසා කොන්ක්‍රීට් එක මඳකට නවත්වා එය පිළිසකර කල බවත්, පිළිසකර කරන්න වෙලාව ගත වෙන නිසා, ඒ අතරේ කොන්ක්‍රීට් එක සවි වීම වළක්වා ගන්නට පෝකර් වයිබ්රෙටරය දාන්න උපදෙස් ලැබුණු බවත්, පෝකර් වයිබ්රෙටරය ක්‍රියාත්මක කරන්න යද්දී පැංචාගේ ඇඟිල්ල එහි කැරකෙන තලයට අසු වී වෙන් වුණු බවත් මම පසුව දැනගත්තා.

මම සයිට් එකට එනකොටත් පැංචාව රෝහලට අරගෙන ගිහින්... මම ආ පසු අරගෙන ගියේ ඔහුගේ අතින් වෙන් වී බිමට වැටුණු ඇඟිලි කොටස. ඉක්මනින් ඇඟිල්ල රැගෙන ගියත් රෝහලෙන් එය නැවත සවි කරන්න උනන්දු වෙලා නැහැ. මොනවදෝ හේතු වගයක් නිසා... ඕනවට එපාවට කොන්ක්‍රීට් එක ඉවර කරලා, අපි හැමෝම සසල සිතින් නවාතැන් වෙතට ගියා.

ටික දවසක් නේවාසික ප්‍රතිකාර ලැබූ පැංචා යළිත් වැඩට ආව. වෙනත් රැකියාවකට යනවා වෙනුවට, ඇඟිලි දහයකින් කරපු වැඩ, ඇඟිලි නමයහ මාරකින් කරන්න පටන් ගන්න ඔහු හිත හදාගෙන තිබුණ.

.............................................................................

පසු සටහන

අර ටොක් ටොක් සද්දයක් ඇහුනේ, ෆොර්ම් වර්ක් එක පිළිසකර කරන හඬයි.

පෝකර් වයිබ්රේටරය යනු, කොන්ක්‍රීට් අතර හිදැස් ඇති නොවෙන පරිදි හොඳින් කොන්ක්‍රීට් සම්පීඩනය කරගැනීමට යොදාගන්නා උපකරණයකි. පෙට්‍රල් සහ භූමිතෙල් මෙහි ඉන්ධන ලෙස යොදනු ලැබේ. මෙහි ඇති කම්පනය වන කූර, කොන්ක්‍රීට් තුළට දැමූ පසු, එම කම්පනය මගින් කොන්ක්‍රීට් අතර ඇති වායු බුබුළු ඉවත් කෙරේ. කම්පනය උත්පාදනය කරන්නේ මෝටරයක් මගිනි. අප වැඩබිමෙහි පැවති පෝකර් වයිබ්රෙටරයේ මෝටරය ක්‍රියාත්මක කරන්නේ දම්වැලක් ඇදීම් මගිනි. දම්වැල ඇදීමේදී මෝටරයේ කැරකෙන තලයට පැංචා ගේ ඇඟිල්ල හසු වී තිබේ. අලුත් පෝකර් වයිබ්‍රේටර් වල මෙම කැරකෙන තලය ආවරණය කිරීමට වැස්මක් යොදා ඇති අතර, අදාළ වයිබ්රෙටරයේ කිසියම් අලුත්වැඩියා කටයුත්තකට ගලවන ලද ආවරණය නැවත සවි කිරීම අතපසු වී තිබිණි. පහත රූපයේ රතු පැහැති ඊතලයෙන් දක්වා ඇත්තේ එම ආවරණයයි.


පින්තූරය http://www.alibaba.com/product-gs/568090989/Popular_Robin_gasoline_Concrete_poker_vibrator.html වෙතින්.




22 comments:

  1. හයියෝ. ඇඟිල්ල ගෙනිහිල්ලත් ඒ ගැන මොකුත් කලේ නැද්ද? (ඇඟිල්ල කෙලින්ම අයිස් උඩ තියාගෙන යන්න හොඳත් නෑ මම හිතන්නේ. පොඩ්ඩක් අහල බලන්න ඒක ගැන.)

    ඔය පැංචාව සේවයේ යොදවාගන්න වයස හරිද?

    ReplyDelete
    Replies
    1. ඇඟිල්ල සවි කරලා නැත්තේ ඒ ඇඟිලි කොටසේ අඩුපාඩුවක් නිසා නෙවෙයි ඩුඩ්, ඒක සවි කරන්න දරන්න වෙන පරිශ්‍රමය වැඩියි හරි මොකක් හරි නිසා. සරලව කියනවා නම් කම්මැලිකම. හරියටම නොදන්න දේවල් ලියල අදාළ ක්ෂේත්‍ර වල අයගේ හිත් රිදීම් ඇති විය හැකි නිසායි, නොලිය හිටියේ.
      අයිස් උඩ තියන් යන එක ගැන හොයල බලන්න ඕනේ.
      අධික මත්ද්‍රව්‍ය භාවිතය නිසාද මන්ද ශරීරයෙන් කුඩා උනාට ඩුඩ්, පැංචාගේ වයස හරි. අනතුරකට සතියකට කලින් එයා විවාහ උනා නීත්‍යානුකුල විදියට.

      Delete
  2. පවු අසරණ කොලුවා..

    අපේ රටේ ගොඩාක් ඔය වගේ ඉඳිකිරිම් කටයුතු කරන සයිට් වල ආරක්ෂාව එහේම් මදි නෙද???
    හෙලමට් බූට් සපත්තුවත් දාන්නවත් උනන්දුවක් නැ.ඔය වගේ ගොඩාක් අනතුරුවලට හෙතුව නොසැලකිල්ල කියලා මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි.
      ආරක්ෂාව මදි. සයිට් එකට නිතර ලොක්කෝ එන නිසා බලෙන්ම හෙල්මට් දම්මවනවා. ඒත් ඒ හෙල්මට් කොයි තරම් අබලන්ද කියනවා නම්, බාසුන්නැහැ බිම බලනකොට හෙල්මට් එක බිම. මෝල්ගහ ගිල්ල වගේ ඔලුව කෙලින් තියන් ඉන්න ඕන ඉතින්...
      අර්ධ රාජ්‍ය සංස්ථාවක් සතු වුනු මගේ පුහුණු වැඩබිමට, මුදල් නැති නිසාම වගේ හෙල්මට් ජැකට් ආදිය සැපයීම මදි. ඉතින් කැඩුණු හෙල්මට් වලට අලුත් ඒවා ගන්න ගොඩක් කල් බලන් ඉන්න ඕනේ.

      Delete
  3. ලංකාවේ සයිට් සේෆ්ටි කියන එක ටිකක් අඩුයි කොහොමත්. හර්ඩ් හැට් එක දැම්මාට බුට් දෙක දැම්මාට විතරක් ම මදි. වැඩ කරන අතර වාරයේ අනුගමනය කරන්න ඕනේ දේවල් හරියට වෙන්නේ නෑ. පුද්ගලිකව අත්දැකපු දේ තමයි ගොඩාක් අය හිතනවා මේ වගේ සමහර වැඩ කරන ඒක වීර කමක් කියලා. අපි උණත් හදිස්සියට ඒවාට අනුබල දෙනවා.
    අර පෝකර් වල නම් දම්වැල තියෙන්නෙම නෑ. ඉක්මනට කැඩිලා යනවා. එතකොට ඉතිං ලණුවක් වගේ එකක් දාලා තමයි කරකවන්නේ අපි.

    ReplyDelete
    Replies
    1. කියන්න දෙයක් ඉතුරු කරලා නැහැ යකා ඔබ හැමදේම කියලා.
      අපෙත් දම්වැල කැඩිලා, ලනුවක් තමයි දාලා තිබුනේ පෝකර් එකට.

      Delete
  4. පුංචි දෙයක් ඇති ලොකු අනතුරකට... වගකියයුත්තෙක් විදිහට ඔබටත් කර අරින්න බෑ නේද ඒ සිදුවීමෙන්... මං හිතන්නෙ සේෆ්ටි ෆස්ට් සංකල්පය හරියට ක්‍ර්යාත්මක වෙනව නං ඔය ලෙඩ මුකුත්ම නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි.. පුංචි වෙලාවක ගිලිහෙන අවධානය ඇති ලොකු අනතුරකට. ඔබ කිවුවා වගේ, පුහුණු වෙමින් හිටි මට වත් ඒ අනතුර සම්බන්ධයෙන් කර අරින්න බැහැ.
      මම හිතන්නේ මේ ඔබේ මුල්ම කොමෙන්ටුව. ආදරෙන් පිලිගන්නවා මගේ බ්ලොග් අඩවියට. හැමදාම එන්න.

      Delete
    2. ඔබ ලිවීම අතෑරලා වගෙයි... හැකිසෑම විටම ලියන්න උත්සාහ කරන්න... නැවත එන්නත් ඔයා ලියන්න එපැයි... නොලියා ඉන්නකොට කෝමද එන්නෙ...???????????

      Delete
    3. ටිකක් හෙමින් හෙමින් තමයි මට ලියන්න පුළුවන්, ඉක්මනට හරවත් දේ ලියන්න තරම් හැකියාවක් තවම නැහැ. අවසන් විභාග කටයුතු එක්ක පොඩ්ඩක් ලියන්න බැරි උනා. ලියන්නම්කෝ...

      Delete
  5. පංචා පෝකර් එක ක්‍රියාත්මක කරන්න හරියට දැනගෙන ඉඳලා නෑ මම හිතන්නේ, නැත්තං වැඩබිමක ඕක බොහොම දුර්ලභ අනතුරක්. ඔයා මේ කියන්නේ කල්ලඩි පාලම ගැනද...?

    ReplyDelete
    Replies
    1. අලුතින් සයිට් එකට පැමිණි ඔහුට පළපුරුද්ද ටිකක් අඩුයි තමයි, මට හිතෙන්නේ ඔහුගේ නොදැනුවත් බව වගේම ෆොර්ම්වර්ක් එකෙන් කොන්ක්‍රීට් කාන්දු වෙච්ච නිසා හැමෝගෙම අවධානය ඒ අතට යොමු වී පරිසරය කලබල සහිත වීමත් මේ අනතුරට හේතුවක් වෙන්න ඇති.
      ඔව් පව්ලුෂා, මේ මඩකලපුවේ කල්ලඩි පාලම.

      Delete
    2. එහෙනම් සමහර විට අපි මුණගැහිලත් ඇති...SD & CC ද හිටියේ ...?

      Delete
    3. ඔව්.. පව්ලුෂා එහෙ හිටියේ කොයි කාලේද?

      Delete
  6. මගේ රාජකාරි කාලය තුල සුළු තුවාලවීම් හැරෙන්නට ඉදිකිරීම් සම්බන්ධව ලොකු අනතුරක්නම් කිසිදිනක සිදුවී නැහැ.

    දවසක් මගේ නොසැලකිල්ල නිසාම ඇණයක් සපත්තුව පසා කරගෙන යටිපතුලේ අඟලක් පමණ ඇතුලට කිඳා බැස්සා. එහෙම උනේ හදිස්සියට උදේ වැඩ බිමට ආපු ගමං මම Safety Shoes නොදා සාමාන්‍ය සපත්තු පැළඳගෙනම වැරගැන්වුම් වගයක් පරීක්ෂා කිරීමට ගිය නිසයි. ඒ ඇරෙන්න වෙන දරුණු අනතුරක්නම් සිදුවී නෑ දෙයියංගෙ පිහිටෙං...

    ReplyDelete
    Replies
    1. සැලකිලිමත් බව තුලින් අනතුරු ගොඩක් වලක්වා ගන්න පුළුවන් නේද..
      රවී තුමාව ආදරයෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට. මම ඉතාමත්ම ආසාවෙන් රස විඳිනවා ඔබේ ලිපි.

      Delete
  7. මම අදමයි ඔබගේ බ්ලොග් අඩවියට ආවේ. නැවත එන්නම්. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.. හැමදාම එන්න :)

      Delete
  8. මෙතන ඇඟිල්ල අරගෙන ගිය විදිහත් වැරදියි. \ඇඟිල්ල ඉටි කවරෙකට දාලා ඒක තමා අයිස්වල දාන්න ඕනේ. නිකම්ම ඇඟිල්ල අයිස්වලට දැම්මොත් \ඇඟිල්ල මැරෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මම දැනගෙන හිටියේ නැහැ හසිත, ඉහල අපේ ඩුඩ් නුත් ඔය ගැන අහල තිබුණ..

      Delete
    2. ඇත්තටම ප්‍රථමාධාර සම්බන්ධව ජනතාව [විශේෂයෙන්ම ලංකාවේ] නොදැන සිටීන නිසා වෙන හානිය වැඩියි. මේ ළඟදී දවසක පිටරට [මට රට නම් මතක නැහැ] ළදරුවෙක්ගේ ශ්වසන අපහසුතාවක් හරි ශ්වසනය අක්‍රීය වුණු අවස්ථාවක එයාගේ නැන්දා කෘත්‍රිම ශ්වසනය ලබාදීලා බේරාගෙන තිබුණා. ඒක ඒ අවස්ථාවේ නොලැබුණා නම් දරුවා මියයනවා. එහෙම සිද්ධියක් ලංකාවේ වුණා නම් දරුවා මියගිහින්

      ඒ වගේමයි සුනාමි අවස්ථාවේදීත් සිහිය නැති ඒත් හුස්ම ගන්නා රෝගීන්ව තබන්න ඕනේ සුවවීමේ ස්ථාපිතය සම්බන්ධව මිනිසුන්ට අවබෝධයක් නොතිබුණු නිසා බොහෝ දෙනෙක් මියගිය බව අසා තිබෙනවා. ඒක නිසා මේ වගේ වැඩබිම්වල විතරක් නෙමේ හැම තැනම වගේ ප්‍රථමාධාර ඉගැන්වීම් සිදු කරන්න ඕනේ

      Delete
    3. සුනාමි අවස්ථාවේ ඇති වුනු ශෝචනීය තත්ත්වය මමත් අසා තිබෙනවා හසිත.. වතුරේ ගිලුණු කෙනෙක් උඩුබැලි අතට තැබීම මාරාන්තිකයි ලු, ගොඩක් මරණ සිදු වුනේ ඒ නිසා ලු...
      සුනාමියට හසු වුනු එක කාන්තාවක් මහත්මා ගති ඇති අයෙක් විසින් බේරාගෙන කලබලයෙන් ඇයව උඩුබැලි අතට තබා අනිත් අයව බේරා ගන්න ගිහින්.. නමුත් ඇය ඉඳ ඇත්තේ නිරුවතින්. නිරුවත් කාන්තාව උඩු අතට තබා තිබෙන එක හොඳ මදි නිසා තවත් කෙනෙක් ඇයව යටි අතට හරවලා..
      කොහොමින් හරි, එතනදී බේරාගත් අයගෙන් ජීවත් වීමට වාසනාව ලබා ඇත්තේ ඇය පමණක් ලු.

      Delete