December 31, 2013

අවසන් හැන්දෑව...

වත්ත පහල තියන කොස් ගස් අස්සෙන් හීනී හීනී ඉර එලිය තීරු තීරු ඇවිත් කුස්සියෙ කහ පාට බිත්තියෙ රටා මවනව. හැන්දෑවෙ බැහැගෙන යන ඉර එලියෙ උණුහුමට අපේ හිතත් උණුහුම් වෙනව. ඉගිල්ලීගෙන අහසට ගියොත් ගස් අස්සෙන් හැංගිලා ලැජ්ජාවෙන් බැහැගෙන යන ඉර දිහා බලන්න පුළුවනි. අව්රුද්දෙ අවසාන වතාවට බහින ඉර දිහා බලන්න මූදු වෙරළට දුවගෙන යන්න හිතෙනව.

මේ වෙලාවට මූදු වෙරළට ගියොත් ඉර ගිනි බෝලයක් වගේ බැහැගෙන යනව බලන්න පුළුවනි. "ගිනි බෝලයක් වගේ" ඔව් ඒක තමයි ඉස්කෝලේ අපට කියල දීපු උපමාව. රන්වන් පාට වලාකුළු කහ පාටයි දම් පාටයි අහසෙ තට්ටු තට්ටු හැදිල, අව්රුද්දක අවසාන දවසෙ ඉර බැහැල යන හැටි  බලාගෙන ඉන්නව.

ඉර බැහැගෙන ගිහින්, අඳුර ඇවිත් රෑ වෙලා අහස කළු උනාම, අතරින් පතර රතිඤ්ඤ සද්දෙ ඈතින් ඇහෙන්න පටන් ගන්නව. රෑ 12ට රතිඤ්ඤ පත්තු කරන්න දැන්ම ඉඳන් පුරුදු වෙනව වගේ... ආසාවෙන්, නොඉවසිල්ලෙන් අහගෙන ඉන්නව, අම්ම හදල දෙන රස රස කෑම එක කාල, හෙට උදේම නැගිටල අම්ම මහල දීපු අලුත්ම චීත්ත ගවුම අඳින්න ආසාවෙන් හීන මවනව.

අදත් එදා වගේම අව්රුද්දෙ අවසාන වතාවට ඉර බැහැගෙන ගිහින්, අඳුර ඇවිත්. කාමරේ යාළුව, 31 රෑ කෑම පෙම්වතා එක්ක ගන්න එලියට ගිහින් නිසා, තනිකමක් දැනෙනව. තනිකමත් එක්කම දෙසැම්බර් හීතල හිතටයි ඇඟටයි හෙමිහිට දැනෙන්න පටන් ගන්නව. මම හොස්ටල් එකේ මගේ කාමරේ ජනේලෙ ළඟ, ලැප්ටොප් එක ළඟ වාඩි වෙලා කවදාවත් නොදැකපු සයිබරයේ මිතුරන්ට සුභ පතමින් බ්ලොග් පෝස්ට් එකක් ලියනව. 

කවදාවත් දැකල නැති සයිබර් මිතුරන්ට, "කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා" කියල කියන්න හිතෙනව. ඒත් ඒ වෙනුවට මෙහෙම කිවුවනම් හොඳයි කියල හිතෙනව.

"සතුටු දායක දේවල් පමණක් ලියන්නට ලැබෙන, සතුටු දායක දේවල් පමණක් කියවන්නට ලැබෙන, සිතේ සැහැල්ලුව පිරුණු නව වසරක් වේවා"

කැන්ටිමේ සුපුරුදු කෑම එකේ සුවඳ උගුරට එනව. හෙට උදේ සුපුරුදු විදියට ලෙක්චර්ස් යන්න තියනව.








13 comments:

  1. අවසන් හැන්දෑව ගෙවිල ගිහිං දීප්තිමත් නව වසරකට හෙට හිරු පායාවි.
    ඔබට සුබම සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි හැලප අයියේ කොමෙන්ටුවට.
      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!!

      Delete
  2. ඔන්න අලුත් අවුරුද්දේ මුලින්ම ආවේ මේකට. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යකා.. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!

      Delete
  3. චීත්ත ගවුම.. අද කාලෙට ඒක සුන්දර අතීතයක් විතරයි !!!

    සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් බොහොමයක් දේවල් වගේ.. ඒකත් සුන්දර අතීත මතකයක් විතරයි.
      ආදරෙන් පිලිගන්නවා මගේ බ්ලොග් එකට.. හැමදාම එන්න.
      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා!!

      Delete
  4. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවාට සහ සුභ පැතුමට.
    ඔබටත් පව්ලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  5. මානවිකාටත් සුබම සුබ නව වසරක් වේවා ......

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුභම සුභ නව වසරක් වේවා පව්ලුෂා...

      Delete
  6. ඔයාගේ ප්‍රාර්තනාව නම් අගෙයි.

    මානවිකාවටත් සුභනව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. අහා... මේ බොහොම කාලෙකින් බ්ලොගයට ගොඩ වැදිලා තියෙන්නේ...
      ඔබටත් සුභම සුභ නව වසරක් වේවා !!!

      Delete
    2. ඇයි අපි නිවාඩුවට ගමරට බලා ගියානේ. ඒකයි පේන්න නොහිටියේ.

      Delete
    3. මම දැක්කා බ්ලොග්වෝකර් පවුල ලංකාවට ආපු තොරතුරු. දැන් ආයෙම ලියමු ඩුඩ්‍, ඔබේ අහිංසක ලිපි නැතුව බ්ලොග් රෝලේ හිස්තැනක් :D

      Delete