2015 ඔක්තෝබර්
ඉන්ටේක් එකට අයදුම් කරනවා නම් ඒ සඳහා ඇති අවසන් දිනය 2015 ජුනි බවත්, දැන් මැයි
මාසය නිසා ඉක්මනට අයදුම් පත් පිළියෙළ කරගන්නා ලෙසටත් මගේ ආචාර්යවරයා දන්වා එව්ව.
අයදුම් කිරීම සම්බන්ධ තොරතුරු ඔවුන්ගේ වෙබ් අඩවියෙන් බලා සූදානම් වන ලෙස මට කී
ඔහු, අයදුම් කිරීම සඳහා රිසර්ච් ප්‍රපොස්ල් එකක් ලිවීම අවශ්‍ය බවත්, එය හොඳින්
ලිවීම සඳහා මට ඔහුගේ උපදෙස් ලබා දිය හැකි බවත් වැඩිදුරටත් සඳහන් කළා.
හොඳ රිසර්ච්
ප්‍රපොසල් එකක් ලිවීම සඳහා මගේ දැඩි අවධානය යොමු වුනේ නිතැතින් මයි. මොකද කියනවා
නම් මම විදේශීය විශ්ව විද්‍යාලයකට අයදුම් කරන බව ලාංකික ආචාර්යවරයාට දන්වා තිබූ
නිසා, ඔහු සමග ආරම්භ කරන්නට සිටි පර්යේෂණ කටයුතු වලින් මම නිදහස් උනා. දැන් මේ
අයදුම් පත සාර්ථක උනොත් හොඳයි, නමුත් අසාර්ථක උනොත් අල්ලපු අත්තත් පය ගහපු අත්තත්
දෙකම නැති වෙනවා. එහෙමයි කියල වැඩි පරිස්සම තකා බැකප් එකක් ලෙස මම ලාංකික විශ්ව
විද්‍යාලයේ ආචාර්ය වරයා සමගත් වැඩ කරන ගමන් අයදුම් කළා නම්, මට විදේශගත වන්නට වූ
විට අමාරුවේ වැටෙන්නේ ලාංකික විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයා.
කලින් කිවුවා
වගේ, 2015 ඔක්තෝබර් ඉන්ටේක් එකට අයදුම් කරනවා නම් මට හිමි වන්නේ ජාත්‍යන්තර
අයදුම්කරුවන්ට සාම්ප්‍රදායිකව හිමි වන ශිෂ්‍යත්වය නොවෙයි වෙනත් එකක්. කොහොම උනත්
ඕනෑම ශිෂ්‍යත්වයකට අයදුම් කිරීමේදී යම්කිසි තරඟකාරී බවක් තිබීම සාමාන්‍යයි. දැන්
කරන්නට ඇත්තේ එක දෙයයි. අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැති වෙන්නේ මගේ අයදුම්
පත ප්‍රතික්ෂේප උනොත් පමණයි. ඉතින් මට ඇත්තේ එකම එක ඔප්ෂන් එකක් පමණයි. ඒ තමයි,
“ප්‍රතික්ෂේප
වෙන්නේ නැති තරම් හොඳ අයදුම් පතක් පිළියෙළ කරගැනීම”
මම ජීවිතයේ නොයෙක්
දුක් කරදර විඳපු කෙනෙක්. කට්ට කාපු කෙනෙක්. ඒ හැම වෙලාවකම මම අත්දැකපු එක දෙයක්
තිබුණ.
“People become
strong when they have no other option to take.”
(වෙනත් කිසිදු
පිලියමක් නැති කල, මිනිස්සු පුදුමාකාර ලෙස ශක්තිමත් වෙති.)
ඉතින් මම
ගොඩක් මහන්සි වෙලා රිසර්ච් ප්‍රපොස්ල් එකේ පළමු පිටපත මගේ ආචාර්යවරයාට ඊ මේල් කළා.
පළමු පිටපත ගොඩක් මෝඩ පිටපතක් ඇත්තටම. නමුත් ඔහු මට ඒ බව කෙලින් කිව්වේ නැහැ.
නමුත් ඔහු මට කොමෙන්ට්ස් එවුවා. ඒ කොමෙන්ට්ස් සමග මම දෙවෙනි පිටපත ලියා යැවුවා. ඒක
කලින් එකට වඩා හොඳ බව කී ඔහු, යලිත් කොමෙන්ට්ස් එව්වා. ඔය විදියට, පිටපත් කිහිපයකට
කොමෙන්ටු ලැබුණු පසු මම ලියපු හතරවෙනි පිටපත ඉතා හොඳ එකක් ලෙස හා තේරීම් කමිටුව
සතුටු කල හැකි මට්ටමේ එකක් බවට ඔහු අතින් පිළිගැනීමට ලක් වුනා. කොහොම උනත් මේ සඳහා
ටික දවසක් ගත වුනා.
ඊට පස්සේ
තිබුනා රචනා හතරක් ලියන්නට. ඒ රචනා වලට අදාළ මාතෘකා ඔවුන්ගේ වෙබ්සයිට් එකෙන් ගන්නට
ඕන. රචනා ලියන්නට පටන් ගන්නා ගමන් ම, මම වෙබ්සයිට් එකෙන් අයදුම් කිරීම සඳහා ඇති
තොරතුරු කියවා බැලුව.
“අයදුම් පත්‍රය
ඔබට බාගත කරගත නොහැකි අතර, අයදුම් පත්‍රය ලබාගැනීම සඳහා අපගේ විශ්ව විද්‍යාලයේ
පිහිටුවා ඇති ශිෂ්‍ය කටයුතු අංශයට පැමිණෙන්න. පැමිණීමට නොහැකි නම් තැපැල් ගාස්තුවට
අදාළ IRC (International Reply Coupon) පත් සංඛ්‍යාව
සමග, ඔබට අවශ්‍ය කරන අයදුම් පත්‍රයේ වර්ගය, නම හා ලිපිනය පහත අයදුම් පත්‍රයේ පුරවා,
අපට ලිපියක් එවන්න”
මගේ ශිෂ්‍යත්වය ජාත්‍යන්තර අයදුම් කරුවන්ට ලැබෙන සම්මත ශිෂ්‍යත්වය නොවෙයි.
ඒ නිසා එය ඔන්ලයින් බාගත කරගත නොහැකි වීම සාමාන්යෙන් කිසිවෙකුටත් ගැටළුවක් ඇති
කරන්නේ නැහැ. නමුත් එය මට ගැටළුවක් ඇති කළා.
අයදුම් පත් තැපැල් කල යුතු අවසාන දිනය ජුනි 24. අද ජුනි 8 වෙනිදා.
මම යවන අයදුම් පත ලබා ගැනීමේ අයදුම් පත ජපානයට යන්නත් ඕන. ජපානේ ඉඳන්
අයදුම් පත ආපහු එන්නත් ඕන. ඒ ආවට පස්සේ මට ඒක පුරවන්නත් ටික දවසක් යාවි.
“ඇයි මට මේක කලින් චෙක් කරන්න බැරි උනේ?” මගෙ හිතේ ඇතිවුනේ තරහක්, මා ගැනම.
අයදුම් පත ලැබුණු හැටි, ලබන සතියේ J
මෙතෙක් මා හා රැඳී සිටියාට ඔබට ගොඩක් ස්තුතියි..




