December 29, 2015

ජපන් කතා 1 - ඇරඹුම පළමු කොටස


ටික කාලයක් නිහඬව හිටියේ ජීවිතේ පොඩි වෙනසක් සිදු වුනු නිසා. ඒ හා සමගම ඇති වුනු අමුතු කාර්ය බහුල කමක් නැතත්, හිතේ නිදහසක් නැති කම, මාව ලිවීමෙන් ඈත් කළා.


මම මේ ලියන්නේ ජපන් රටේ ඉඳන්, වැඩිදුර අධ්‍යාපන කටයුතු වලට ආ ගමන්. මේ ආ ගමන තමයි මම ඉහත කී පරිදි, මගේ ජීවිතේ සිදු වුනු වෙනස් කම. මේ ගමන ගැන ලියන්න තියනව දිග කතාවක්. ඒ කතාව තමයි අද පටන් ගන්නේ. කම්මැලිකම පැත්තක දාල සතියකට වරක් වත් මේක දිගටම ලියන්න බලාපොරොත්තු වෙනව.


මම කලින් දවසක අපේ ඩුඩ් ගේ බ්ලොග් එකෙත් කොමෙන්ට් එකක් දැම්ම. අපි සමහරක් අයට ජීවිතේ සමහර දේවල් ලබාගන්න පුදුමාකාර කට්ටක් කන්න සිදු වෙනව. ගොඩක් දේවල් උපතින්ම හිමි වුනු වාසනාවන්ත අය ඉස්සරහ සමහර වෙලාවට විහිළුවක් බවට පත් වෙන්න සිදු වෙන්නේ, මේ නිසා. මේ ජපන් ආපු ගමනත්, ඒ වගේ එකක්. පුදුමාකාර කට්ටක්. ඉතින් අහන්න, මගේ කතාව.


**********


පෙරවදන

විශ්ව විද්‍යාලයෙන් පිට උනාට පස්සෙ, මට උවමනා උනා රැකියාවකට යන්නට පෙර වැඩිදුර අධ්‍යාපන කටයුත්තක නියැලෙන්න. මම විදේශීය විශ්ව විද්‍යාල කිහිපයකටම, උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව සඳහා අයදුම් කලත්, ඒ එකක් වත් මට ලැබුනේ නැහැ. මා හා සමාන අධ්‍යාපන සුදුසුකම් ඇති මිතුරු මිතුරියන්ට, ස්වකීය ප්‍රථම අයදුම් පත ම සාර්ථකයි කියල දැනුම්දීම් ලැබෙනකොට, මගේ අයදුම් පත් ප්‍රතික්ෂේප උනා. මම ආස කරන, සමුද්‍රාසන්න ඉංජිනේරු විද්‍යාව සඳහා තිබුණු උග්‍ර තරඟකාරී බව මේ සඳහා එක හේතුවක් වෙන්නට ඇති. නැත්නම් ඇත්තටම එක්කෝ ඒ මම අවාසනාවන්ත නිසා වෙන්නට ඇති. කොහොම උනත්, අවස්ථා වැඩිපුර ඇති, වෙනත් අංශයකින් උසස් අධ්‍යාපනය හදාරන්නට ගොඩක් අයගෙන් උපදෙස් ලැබුනත්, කැමැත්ත වැඩිපුර තියන විෂය අතහැර දමන්නට හිතට දැනුනේ දුකක්. සමහර වෙලාවට අපි කරන කියන දේවල් සාර්ථක නොවන විට හිතට දැනෙන වෙහෙස නිසා අපි පසුබට වෙන අවස්ථාත් තියනව. මටත් ඒ වගේ උනා.


ඇරඹුම

ඔහොම ඉන්න අතරේදී, මට කසාදයක් වත් කරල දුන්න නම් හරි කියල හිතාගෙන, අපේ අම්ම මට මනමාලයෝ හොයන්න පටන් ගත්ත. අපේ අම්ම මගේ හඳහන පරීක්ෂා කරවන්නේ මේ අතරේදී. “කසාද බඳිනකම් නම් මේ ළමයට ඉගෙන ගන්න රටින් පිට වෙන්න ලැබෙනව බොරු”

මගේ හඳහන කිවුවේත් එහෙමයි.



කාලෙකින් ලියන නිසා දිගටම ලියන්න කම්මැලියි. ඉතුරු ටික ඉක්මනටම ලියන්නම්. එතෙක් ඉවසීම වෙනුවෙන් ඔබට ස්තුතියි.


ජීවිතේ වෙහෙසයි නම්, මඳක් ගිම් නිවන්නට


August 29, 2015

නිහඬ තනි තරුව නුඹ



රථය තුල වූයේ ගත සනහන සිසිලසකි. ඔහු නිහඬය. වාමුවාව මතට වැටෙන වැහි බිංදු, සෙමෙන් පහලට ගලා එයි. පාරේ ඉදිරිපස දකුණු අයිනේ ඇති පහන් කණුවෙන් විහිදෙන සුදු එලිය, වාමුවාව පසා කරගෙන ඔහුගේ මුහුණට වැටෙයි. වැහි බිංදු වල සෙවනැලි, ඔහුගේ දෙකම්මුල් මතින් පහලට ගලා යයි.


ඒ දෙකම්මුල් මතින් වැහි බිංදු ගලා යන මග දිගේ, මගේ දෙතොල් යා කොට ඔහුව සිපගන්නට මට සිතිනි. හදිසියේම වයිපරය විසින්, වැහි බිංදු පිස දැමිණි.


“ඔයා දැන්, බහින්න”, බැරිම තැන, ඔහු හඬ අවදි කළේය.

“මට බෑ”

“බෑ කියල බෑ නේ, බහින්න. අපි දැන් මිනිත්තු පහක් විතර මෙතන. දැන් කවුරු හරි එලියට ආවොත් අපිව දකීවි”

“අනේ තව ටිකක්, මට ඉන්න ඕන”

 ඔහු රථයේ එන්ජිම නිවා දැමුවේය.


වැස්ස ඇද හැලේ. ඔහු තවම නිහඬය. මේ ගමනේ කෙලවර මා නොදනිමි. ඔහු නොබෝ දිනකින් පිටව යනු ඇත. ඉන් මතු ඔහුත්, මාත්, යලි මුණ නොගැසෙනු ඇත. නමුත් මා උමතුවෙන් මෙන් ඔහුට පෙම් කරමි.


“මොකද කතා නැත්තෙ?”

“ඔයා දැන් බහින්න, මැච් එකත් පටන් ගන්නව, තව පැය බාගෙකින් විතර”

“අනේ ඉතින්, පැය බාගෙ ඉන්නකො”

“ගිහින් වොෂ් එකක් දාගන්නත් ඕන”


හැඩි දැඩි ඔහුගේ සරාගී රුවට, මම පෙම් කලෙමි. නමුත්...,


“එහෙනම් මම යන්නම්, මැච් එක බලල කෝල් එකක් දෙන්න”

“බැරි වෙයි, ඔයා නිදාගන්න”

“ඕ කේ. ගුඩ් නයිට්”

“ගුඩ් නයිට්”


අහස මම නම්, ඔහු තනි තරුවකි. අමාවක අඳුරු අහසට, ඔහු නොපායන තරුවකි.


******************


ඔහු යන්න ගොසිනි. මම බලා හිඳිමි.



******************


නිහඬ තනි තරුව නුඹ

නොපායන මා අහස් ඉම..



පහන් තරුව වී නුඹ

සෙමෙන් පායා ආ විට,

සෙමෙන් වියැකී යන්නට

සිදු නොවේ නුඹ හට,

ඉර නැගී එන විට..


රාත්‍රිය පමණි උරුම මට..



නිහඬ තනි තරුව නුඹ

සෙමෙන් පායා ආ විට,

සෙමෙන් වියැකී යන්නට

සිදු නොවේ නුඹ හට,

පුර සඳ එබෙන විට..


අමාවක පමණි උරුම මට..



නිහඬ තනි තරුව නුඹ

නොපායන මා අහස් ඉම..



******************


ප. ලි.

ගොඩක් කාලෙකින් ලියන්නේ. නොලිය ඉඳල, හිරි ඇරගන්න, පිවිසුමක් විදියට ලියපු, පොඩි සටහනක් මේ.


කලින් පොස්ට් එකට ලැබුණු කොමෙන්ට් වලට උත්තර දැම්මෙත් නැහැ, කම්මැලිකමට. ඒ වෙනුවෙන් සමාවෙන්න. ආයේ එහෙම කරන්නේ නැහැ.





December 07, 2014

පාසල් නිවාඩු කාලේ දුම්රියේ ගමන් බිමන් යනවාද

ගොඩක් සිකුරාදාවන්ට මම ගෙදර එන්නේ දුම්රියේ. සිකුරාදා හවස තුන් වන පන්තියේ මැදිරි තුලට ඇතුළු වෙන්න අපහසු තරමට පා පුවරුවේ තදබදය නිසා මම දෙවන පන්තියේ තමයි ගමන් කරන්නේ. පහුගිය සිකුරාදා වෙනදා නැති තරම් සෙනගක් දෙවැනි පන්තියේ හිටපු නිසා ඒ ඇයි කියන කුතුහලයෙන් වටපිට බැලුවම, වෙනදා යන එන දිනපතා කාර්යාල මගීන් වෙනුවට පාසල් වයසේ දරුවන් සමග ලොකු බෑග් මලු අරගෙන ගමන් කරන මගී පවුල් කිහිපයක්ම දැකගන්නට ලැබුණ. වසර අවසාන විභාග අවසානයත්, පාසල් නිවාඩුව ආරම්භයත් අතර කාලයේ පාසල් වල ඉගැන්වීම් කටයුතු කෙරෙන්නේ නැති නිසා මේ දරු පවුල් ගමන් බිමන් ගිහින් වගෙයි.. බොහොම හොඳයි.


පින්තූරය http://locolanka.blogspot.com/2014/02/s12.html වෙතින්

වෙනදා අතරමගක් යනකොට දුම්රියෙන් බැස යන කාර්යාල ජනයා වෙනුවට අසුන්ගෙන සිටියේ, ගමනාන්තය දක්වා ගමන් කරන මගී පවුල් නිසා අසුන් ගන්නා අදහස අත් ඇරගෙන මම තදබදය අඩු දුම්රිය මැදිරියකට වෙලා ගීතයක් රස විඳිමින් හිටගෙන උන්නා. මම දුම්රියේත් බස් රියේත් බෙහෙවින් ගමන් කර හොඳට පුරුදු කෙනෙක්. ඒ නිසා හිටගෙන ගමන් කරන එක මට හොඳට හුරු පුරුදුයි. ගීතයක් අහගෙන ඔහේ යන මම, සීට් වලට පොරකන කෙනෙක් නොවෙයි...

*************** 

හිටගෙන යන ගමන් මම හෙමිහිට වටපිට බැලුව. අවුරුදු පහක් පමණ වයසේ පසුවන කුඩා දරුවනුත් තනි අසුනක හිඳගෙන යන අවස්ථා කිහිපයක්ම මේ අතරේ දකින්නට ලැබුණ. වසර අවසානයේ මෙසේ ගමනේ යෙදෙන මේ මගී පවුල් බොහොමයක් “වොරන්ට්” අරගෙන ගමන් කරන අය. දිගු දුරක් ගමන් ගන්නා විට කුඩා දරුවෙක් ඔඩොක්කුවේ තබාගෙන යන්නට හෝ, දරුවාව තලා දමමින් යන්තමින් අයිනක හිඳුවාගෙන යන්නට බැහැ. නමුත් මේ විදියට කුඩා දරුවන්ටත් වෙනම ෆුල් ටිකට් පතක් ගන්නේ ඒ පහසුකම නොමිලේ ලැබෙන නිසාම වෙන්නට බැරිද?

සාමාන්‍ය දවසට දෙවන පන්තියේ ගමන් කරන බොහෝ අය මම වගේ ටිකට් පත තමන්ගේ මුදලින් මිලදී ගන්නා අය. නමුත් බොහෝ දිනවල  "අපි සල්ලි දීල ටිකට් ගත්තේ අපට ඕන හැටියට යන්න" කියල නොහිත, කාර්යාල මගීන් දෙවන පන්තියේ අසුන් දෙකක් අතර ඇති අත්වාරුව ඉහලට ඔසවා තබා, තුන් දෙනෙකු ඉඳගෙන යන අවස්ථා දැකිය හැකියි. හැබැයි එහෙම යන්නෙත් දන්නා අඳුරන මිතුරු පිරිස් පමණයි. ඒ වගේම ඔවුන් දුම්රියෙන් බසින්නේ දන්නා හඳුනන කෙනෙකුටම අසුන ලබාදීමෙන් පසුවයි. ඒ නිසා විශ්ව විද්‍යාලයේ සේවය කරන, සති අන්තයේ පමණක් ගෙදර එන, අතරමගින් දුම්රියට නගින, දුම්රියේ කාර්යාල මිතුරන් නැති මට එලෙසින් හිඳගෙන යන්නට ලැබෙන්නේ නැහැ. නමුත් එලෙසින් සීට් දෙකක තුන් දෙනෙකු හිඳගෙන යාම ගැන මගේ හිතේ පැහැදීමක් තිබුණ. මොකද ඒ නිසා හිටගෙන යන අයගේ ඝනත්වය අඩු වෙලා අපි වගේ අයට පහසුවෙන් ගමන් කල හැකියි. එවන් දෑ පුරුදු දෙනෙතට මේ දසුන අමුත්තක් එක් කලේ නිරායාසයෙන්.

අතරමගදී පියෙක් සහ තරුණ දියණියක් දුම්රියට ගොඩ වැදුනා. වයස හතක් පමණ වන පිරිමි දරුවකුත් ඔහුගේ මවත් හිඳගෙන සිටි තැනට ගිය පියා, එහි ඇති ඉතිරි ඉඩකඩේ තම තරුණ දියණිය හිඳුවා ගන්නා ලෙස ඉල්ලා සිටියා. ඒ තරුණ මව ඊට කැමැත්තක් දැක්වුවේ නැහැ. පසුව පියා තම දියණිය බලහත්කාරයෙන් වගේ එහි හිඳුවා තැබුවා. සිදුවීමේ වරද එක පක්ෂයකට පවරන්නට මම හදිස්සි වුනේ නැහැ, නමුත් ගෙදර ඇවිත් මම මේ සිදුවීම අක්කාට කිවුවා.

ඇය ගමන් කරන විටක දැක ඇත්තේ මීට වඩා බොහොම දුක හිතෙන දෙයක්. වයස දොළහක පමණ සිහින් ගැහැණු ළමුන් දෙදෙනෙකු යාබද අසුන් දෙකක ඉඳගෙන සිටියාලු. අතරමගින් ගොඩනැගුනු පියෙක්, තමන්ගේ වයස පහක් පමණ වුනු පුංචි පුතාව මේ අක්කලා දෙන්නා මැද ඇති හිස් ඉඩෙහි හිඳුවා තැබුවා ලු. තමන් මැදින් අසුන් ගත් කුඩා මල්ලියා නිසා සතුටු වූ මේ දැරියන් දෙදෙනා එහා මෙහා වී ඉඩ ලබා දුන්නා ලු. පිටුපස ඉඳගෙන සිටි මේ දැරියන්ගේ මව මේ බව දැකල ඉස්සරහට එබුනාලු.

“ඔය මොකද ඔය දෙන්න ඔතන අපහසුවෙන් වාඩි වෙලා ඉන්නෙ? හොඳට ඉඩ අරගෙන වාඩි වෙන්න” කියා කිවුවාලු.

*************** 

ඉතා කුඩා දරුවෙකු සමග තමන්ගේ ආසනයේ නිකම් තිබෙන ඉතුරු ඉඩ ටික බෙදා හදා ගන්නට දරුවන්ට කියා දෙන්නට අකමැති දෙමවුපියන්, තමන් වයසට ගිය පසු ඒ දරුවන් විවේක කාලය තමන් සමග බෙදා ගනීවි යැයි බලාපොරොත්තු වන්නේ ඇයි?

වරප්‍රසාදයක් ලෙස තමන්ට ලැබෙන දුම්රිය ටිකට් පතෙන් තමන්ට ඕන හැටියට පහසුවෙන් ගමන් ගන්නට පුළුවන් බව හිතන පුරවැසියන් සිටින රටක් වශයෙන් අපිට, විධායක බලතල අයුතු ලෙස භාවිතා නොකරන පාලකයෙක් බලාපොරොත්තු විය හැකිද?


තමන්ගේ දරුවන් සැප පහසුවට ගමන් ගනිද්දී, අනිත් අයගේ දරුවන් තැලී පොඩි වී හිටගෙන යා යුතු යැයි හිතන පුරවැසියන් පිරිසක් සිටින රටක අපිට, බේබිලා කාර් රේස් නොපදින අනාගතයක් උදා වේ යැයි බලාපොරොත්තු විය හැකිද?

*************** 

හෙට උදේ මම යලිත් දුම්රියේ යනව. ඊයේට වඩා යහපත් දිනක් හෙට උදා වේවා!

*************** 

කොහොම වුනත් පාසල් නිවාඩු කාලේ අවසන් වෙනකම් සිකුරාද හවස බස් එකේ ගෙදර එන එක ඇඟට ගුණයි වගේ..










November 06, 2014

එකුන් විසි සියවසක... මතක...


කලින් පොස්ටුව බ්ලොග් රෝල් වල අප්ඩේට් වී නොමැති නිසා මෙතන ක්ලික් කරන්න.

ස්තුතියි

එකුන් විසි සියවසක... මතක...


“ඔය කිවුවට, පිරිමි හැමෝම ඔහොම තමයි, හරිම වල්”

යම් කිසිවෙකු අතින් ලියවුනු කවියක් ගැන තරහෙන් එහෙම කිවුවේ මගේ මිතුරියක්.. ඇත්තටම ඇය ඉකි බිඳිමින් උන්නා...

“හ්ම්ම්ම්..... ඔය කිවුවට, අපේ තාත්ත කොයි තරම් හොඳයිද, ඒ වගේ පිරිමි ටික දෙනෙක් හරි ඇති”

මම එහෙම හිතුවට, කිවුවේ නැහැ, මොකද ඉකි බිඳිමින් ඉන්න ඇයව තවත් අප්සට් කරන්න මට උවමනාවක් තිබුනේ නැහැ. ඒ වෙනුවට මම මෙහෙම කිවුව.

“හැමෝම දන්නවනේ ඔයා කවුද කියල. ඔය කවි වලින් පේන්නේ එයාලගේ හිත් වල හැටි. මොලයක් තියන මිනිස්සු ඒක තේරුම් ගනීවි. දුක් වෙන්න එපා, ඔය වගේ තුට්ටු දෙකේ දේවල් වලට ඔයාගේ කඳුළු නාස්ති කරන්න එපා”

............................................................................................................


ටික දවසක් ගත වුනා... එක රාත්‍රියක මගේ දුරකතනයට මැසේජ් එකක් ආව.. මගේ බැචෙක්. සහෝදරයෙක්.. ඇත්තටම ඔහුට මිතුරෙක් නොකිය, සහෝදරයෙක් කියන්න හේතු උනේ ඔහු ඇත්තටම මට සහෝදරයෙක් වීම. මගේ පියාණන් හදිසියේ අපි හැර ගිහිපු වෙලාවෙ අවමංගල්‍ය කටයුතු වලින් පටන් ගත්තම, දානමය කටයුතු, ඉන් පසුව මගේ ජීවිතයේ දුෂ්කර අවස්තාවන් වලදි ඔහු මා සමග හිටිය හැම විටකම...

“නින්ද යන්නෙ නැහැ බන්...”

“ඒ මොකද”

 එහෙම පටන් ගනිපු දෙබස ටිකෙන් ටික සෙක්ස් රිලේටඩ් වෙන්න පටන් ගත්ත, මම පිළිතුරු දීමෙන් වැලකුනා,  ඔහු දිගින් දිගටම මැසේජ් එවන නිසා මම දුරකථනය සයිලන්ට් කළා. පසුව මම නින්දට වැටුන..

මිතුරෙක් නැති කරගන්න වත්, හතුරෙක් ඇති කරගන්න වත් මට උවමනාවක් තිබුනේ නැහැ, කාලකන්නි නිහැඬියාව බිඳිමින් පහුවදා මම ඔහුට මෙහෙම ලියල ඇරිය.

“මට වගේම ඔයාටත් වයස 25ක්. තනිකඩ ඔයාට හැඟීම් දැනීම් ඇති. හිත කරදර කරගන්න එපා. ඊයේ සිදු වුනු දේ මම අමතක කරනවා.”

“බොහොම ස්තුතියි, මට උඹේ මූන බලන්න බැරුව හිටියේ” පිළිතුරක් ලැබී තිබුණ.

............................................................................................................


මේ සිදුවීම් දෙකටම දැන් අවුරුද්දක් විතර ඇති. ඇත්තටම පිරිමි හැමෝම වල් ද කියල හොයන්න කල්පනා කරන්න විවේක කාලයක් ලැබුනේ නැහැ.. කැම්පස් එකෙන් අවුට් වෙලා තාවකාලික උපදේශක වරියක් විදියට මම බිසී උනා. සෙමෙස්ටර් හතරක සිසුන්ට ප්‍රැක්ටිකල් කරන්න සතියේ දවස් පහේම, වරු දහයේම කාල සටහන පිරී ගියා. ඒ අතරේ අනිත් අය වල් ද කියල හොයන එක පැත්තකින් තියල, මම මගේ ජීවිතය වෙනුවෙන් කැප වුනා...

එක රාත්‍රියක මගේ දුරකතනයට මැසේජ් එකක් එන්නේ ඔය අතරේදී.. සයිට් එන්ජිනියර් විදියට වැඩට ගිහිපු ඔහුගෙන්ම...

“නින්ද යන්නෙ නැහැ බන්...”

“ඒ මොකද”

 එහෙම පටන් ගනිපු දෙබස ටිකෙන් ටික සෙක්ස් රිලේටඩ් වෙන්න පටන් ගත්ත, මම පිළිතුරු දීමෙන් වැලකුනා,  ඔහු දිගින් දිගටම මැසේජ් එවන නිසා මම දුරකථනය සයිලන්ට් කළා. පසුව ඔහු කෝල් කරන්න ගත්ත. මම දුරකථනය ක්‍රියා විරහිත කළා...

මේ සිදුවීම මේ ආකාරයටම දවස් කිහිපයක් සිදු වුනා. කාටවත් කටක් ඇරල මේ බව කියන්න පුළුවන් කමක් තිබුනේ නැත්තේ, මට ඩේලි බේසිස් මුණගැහෙන විශ්ව විද්‍යාලයේ මගේ මිතුරියන් හැමෝම, ඔහුගේත් මිතුරියන් වීම.

මොනව උනත් ඔහු මට දුකේදී උදව් කල සහෝදරයෙක්.. නමුත් මේ සිදුවීම කාලයත් සමග මගේ සිත බෙහෙවින් වෙහෙසට පත් කළා.. පියෙකුගේත් පෙම්වතෙකුගේත් ආරක්ෂාව රැකවරණය අහිමි වුනු, ඔහුට කිසිම වරදක් කරල නැති, කොහෙවත් ඉන්න මම ගැන, එහෙම දෙයක් හිතන්න ඔහු හිත හදාගත්තේ කොහොමද...

 පියාණන් අහිමි වූ පසු, මගේ ජීවිතයේ තිබූ රැකවරණය බෙහෙවින් නැති වී ගියා. අම්මා නිතර අසනීප වෙන්නට පටන් ගත්ත. විවාහක අක්කාත් ඇයගේ සැමියාත්, බලෙන්ම මම ගැන හොයන්න බලන්න පටන් ගත්තත්, ඔවුන්ට කරදරයක් බරක් වෙන්නට මට හිතුනේ නැහැ. ඒ නිසා මම බලෙන්ම වගේ ඔවුන්ගේ දැඩි සොයා බැලීම් හමුවේ නිහඬව හිටිය. මම නිවසින් බැහැරව ඉන්නකොට අම්මව ඉතා හොඳින් බලා කියා ගන්න ඇයට, මගේ ජීවිතය බරක් කරගන්නට මම ඉඩ දෙන්නේ කොහොමද...

මම, මගේ ආරක්ෂාව සහ යහපත ගැන සිත යොමු කළා... මේ නිසාමද මන්ද රාත්‍රී 10න් පමණ පසු, මම ගෙදරින් ලබා දෙන දුරකථන ඇමතුම් වලට ඇරෙන්නට අනිත් ඒවාට පිළිතුරු දෙන්නේ නැහැ. ඒ මගේ හැටි. ඇත්තටම මම ඔහුව බ්ලොක් කලේ නැත්තෙ, ඔහු මට කරදර වලදී පිහිට වී තිබුණු සමීප මිතුරෙක් නිසා..

............................................................................................................

මේ වෙනකොට ඔහු මට මහ රෑ ජාමෙට කෝල් කරන එකත්, මම දුරකථනය නිහඬ කර නිදාගන්න එකත් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබුණ. 

ඒත් පිරිමි ඇත්තටම වල් ද කියා හොයන්නට නම් මට විවේකයක් තිබුනේ නැහැ. 

ඔහු නරක දෙයකට කතා කලාද නැද්ද කියල මම දැනගෙන නොහිටියත්, පහු වෙනකොට, ඇත්තටම මම පිළිතුරු දීමෙන් වැළකී සිටියෙ මට බයක් දැනෙමින් තිබුණු නිසා. කොහොම උනත්, මේ හැම වෙලාවකම, මේ පිළිබඳව කියන්නටත් ආරක්ෂාව පතන්නටත් කවුරුවත් නැති එක ගැන මට දුකක් දැනෙමින් තිබුණ.

යලිත් මහ රෑක දුරකථනය නාද වෙන්නේ ඔය අතරේදී. ආන්සර් නොකරපු නිසා ඔහු මැසේජ් එකක් එවල තිබුණ.

“මේ මැසේජ් එක දැකපු ගමන් මට කෝල් එකක් ගනින්”

හ්ම්ම්ම්..... මම කෝල් බැක් කලේ නැහැ. ඔහු බොරු කියනව වෙන්න බැරිද?

මම රාත්‍රියේ කතා කලේ නැහැ, නමුත් පහුවදා දවල් වරුවේ මම  ඔහුට ඇමතුමක් ගත්ත. මම ගැන වැරදි දේවල් නොසිතන ලෙසත්, රාත්‍රී කාලයේ දුරකථන ඇමතුම් නොගන්නා ලෙසත් ඉල්ලා සිටින්නට සිතුව.

කොකාට වාරයක් එනව නම් තිත්තයාටත් වාරයක් එනවලු. මෙවර ඔහු ආන්සර් කලේ නැහැ.

“මම උඹත් එක්ක තරහයි” ඔහු එහෙම කියල එවල තිබුණ.

හ්ම්ම්ම්..... ඇති යන්තම්.. ආයේ රෑට කෝල් කරන එකක් නැහැ එහෙනම්...

මම විශ්ව විද්‍යාලයේ සේවය කරමින් ඉන්නේ, PhD එකක් හැදෑරීමේ අරමුණින් ශිෂ්‍යත්වයක් ලැබෙන කම් කියා ඔහු දන්නව. ඒ නිසාමද මන්ද, පසුව ඔහු මෙහෙම එවා තිබුණ.


“උඹ ඔය තරම් ඔලුව උදුම්මගෙන ඉන්නෙ, උඹ PhD එක ඉවර කරලද”

............................................................................................................

“හ්ම්ම්ම්..... ඔය කිවුවට, අපේ තාත්ත කොයි තරම් හොඳයිද, ඒ වගේ පිරිමි ටික දෙනෙක් හරි ඇති”