අතහැර දමා තිබුණු බ්ලොග් එකේ යමක් ලියන්නට සිත් වුණේ, මේ දිනවල කතාබහට ලක් වුණු පිස්සුවක් ගැන මගේ අදහස කියන්ටයි.
පෙරවදන
පළමු කොටස.
2007 වසරේ යම් දිනක, අපේ නිවස.
පාත්‍ර වර්ගයා: ඉස්සරහ ගෙදර ඇන්ටි, අපේ අම්මා සහ මම.
ඉස්සරහ ගෙදර ඇන්ටිත්, අපේ අම්මාත් ඕප දූප කතා කරමින් සිටී. 2008 වසරේ උසස් පෙළට සූදානම් වන මම ඒ අහල පහලම ගණන් සදමින් සිටියි.
ඉස්සරහ ගෙදර ඇන්ටි: දැන් කාලෙ පිරිමි ළමයි කසාද බඳින්න ගියාම සල්ලි, උගත්කම මුකුත් හොයන්නේ නැහැනේ.. ලස්සන විතරයි හොයන්නේ.
අපේ අම්මා: ඒක නේ..
ඉස්සරහ ගෙදර ඇන්ටි: (මදෙස බලමින්) අපේ පොඩි දූට නම් හොඳ කොල්ලෙක් කසාද බඳින්න පුළුවන් ඒ නිසා.
අපේ අම්මා: හි හි.. බලමු!
අවධානයෙන් ගණන් සදමින් සිටියා නම් ඕපදූප ඇසෙන්නේ කෙසේදැයි යන ප්‍රශ්නය පසෙක තැබුවොත්, මේ කතාව ඇසුණු මට, ඇත්තටම පුදුම සිතුනි. එවකට වයස 18ක් පමණ වූ, කෙළිලොල් වයසේ පසු වූ, පාසල් යන, විභාගය ගැන පමණක් බොහෝ සිතූ මට මේ කතාව අමුතුම හැඟුමක් ගෙන දුනි.
ජීවිතය ගෙවී ගිහින්, 2012 දී, ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් උදෙසා මඩකලපුවේ හය මසක් ගත කල මාගේ සම, කට්ට කළු පැහැති වූ අතර, හිරු එලියට නිරාවරණය වූ අතේ හා මුහුණේ රෝමකූප තඹ පැහැයෙන් දිලිසිණි. සයිට් වැඩ නිමා කොට ස්නානය කරද්දී රාත්‍රී 11 පමණ වෙන නිසා, කොණ්ඩය කොටට කපා දමා සිටියෙමි. දහදිය දමන නිසා කුරුලෑ හට ගත් අතර, මවිසින් අනිච්චානුගව ඒවා කඩා දැමීම නිසා කැළැල් හට ගති.
දෙවෙනි කොටස.
2013 වසරේ යම් දිනක, මහපාර.
පාත්‍ර වර්ගයා: ගමේ ඇන්ටි කෙනෙක්, අපේ අම්මා සහ මම.
ගමනක් යමින් සිටි මටත්, අපේ අම්මාටත්, අඳුරන ඇන්ටි කෙනෙකු මුණගැසේ.
අපේ අම්මා: මේ බලන්න මෙයා කළු වෙලා නේ. මෙයාට කවුරුහරි හොයන්න ඕන හෙමින්.
ගමේ ඇන්ටි: ඒක තමයි නේ. දුව ඉස්සර මීට වඩා ලස්සනයි නේ. තව කැත වෙන්න කලින් කවුරු හරි හොයල බන්දල දුන්න නම් හරි.
අපේ අම්මා: ඒක නේ..
කල් ගත විණි. රෝම කූප යලිත් කළු පැහැයට හැරුණු අතර, කොණ්ඩය යලිත් වැවී, කුරුලෑ කරල් මැකී ගියෝය. කට්ට කළු පාට අඩු වී, වෙනස් පාටක් ලැබුණි. කලින් මා නුදුටු අලුත් මිතුරෙක් මුණගැහුණු කල්හි, මේ කෙනාව අඳුරනවා දැයි පරණ ෆොටෝ පෙන්වා සිනාසෙමි. මා තවත් කැත වන්නට පෙර කසාද බැඳිය යුතු යයි කෙරුණු යෝජනා, දැන් නිහඬ වී ඇත.
නමුත්, හෙට මා යලිත් කැත වන්නට පටන් ගෙන ඇති යැයි යමෙකුට සිතුනොත්, පෙර කී කතාව යලිත් කරලියට නොඑනු ඇති යැයි පොරොන්දු විය හැක්කේ කාටද?
******
මේ කතාව මතකයට නැගුනේ, පසුගිය දිනවල පිස්සුවෙන් මෙන් අපේ අය කතා වුනු, බැංකුවක සිදුවීමක් නිසාවෙනි. එම කතාවට ලක් වුනු පුද්ගලයින් ඉතා නරක මිනිසුන් බවටත්, ඇය ගණිකාවක් බවටත්, ඔහු නරුමයෙකු බවටත්, යලිත් ආපස්සට හැරීමක් නැති බවටත්, එහි සිටි තරුණියට සිය දිවි නසාගැනීමට හැර වෙන කරන්නට දෙයක් නැති බවටත්, ඔවුනොවුන් විවාහ නොවුනහොත් ඒ තරුණියට විවාහ වන්නට බැරි වෙනු ඇති බවටත්, ආදී ලෙස අපේ අය කොමෙන්ටු දමා තිබිණි.
මගේ ගැටලුව වන්නේ, මෙලෙස වෙනත් කෙනෙකුගේ ජීවිතය සම්බන්ධව ඔවුන් ගත යුතු තීරණ ගැන උපදෙස් දෙන්නට අපට ඇති අයිතිය කුමක්ද යන්නයි. ජීවිතයේ එක් සිදුවීමක් මත ඔවුන්ගේ මුළු ජීවිතයම ලඝු කොට, අපේ සිතිවිලි අනුව ඔවුන් ජීවත් විය යුතු යැයි සිතීම කෙතරම් දුරට සාධාරණද?
කොමෙන්ටුවකම තිබූ අයුරින්, බොහෝ දෙනා මේ යුවලට, බැංකුවක් තුල අනිසි හැසිරීම ගැන දොස් පැවරුවත්, බස් රිය තුල දුම්රිය තුල අනිසිව හැසිරීමෙන්, ඇඟේ ඇතිල්ලීමෙන්, හේත්තු වීමෙන් දහසක් දැරියන්, තරුණියන් අපහසුතාවයට ලක් කරයි. රැකියා ස්ථානයේ හැසිරිය යුතු අයුරු කියා දෙමින්, තමන්ටත් එවන් අවස්තාවක් පාදාගැනීමට සිහින මවයි. නිරුවත් වූ ගැහැණියට වේසි යයි දොස් කියමින්, පාරේ යන ගමන්, ෆිල්ම් බලන ගමන්, සිතින් දහසක් තරුණියන් නිරුවත් කරයි.
අපේ ජීවිත නිරතුරුව වෙනස් වෙයි. අපි සුදු හෝ කළු නැති, අළු පාට මිනිස් කැලක් වන්නෙමු. ඉතින් හැමෝම අතින් වැරදි සිදු වෙයි. නමුත් එක් සිදුවීමක් මත පදනම් වී, අනුන්ට ජීවත් වෙන හැටි කියා දෙන්නට යන්නේ, අපි අපේ ජීවිත සර්ව සම්පූර්ණ කරගෙන ද?
ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ජීවත් වන්නට ඉඩ දී, අපේ වැඩක් බලාගෙන ඉන්නට අපට බැරි ඇයි?




